ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වත්මන් වැඩපිළිවෙළ අවසන් වීමෙන් පසු තවත් වැඩපිළිවෙළකට හෝ ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් රජය විසින් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. වත්මන් වැඩපිළිවෙළ යටතේ අත්පත් කරගත් ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගනිමින්, ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කළ නව එකඟතාවකට එළඹීමේ හැකියාව රජය විසින් පරීක්ෂා කරමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. විදේශ සංචිත අපේක්ෂිත මට්ටමට පැමිණීම සහ ණය ශ්‍රේණිගත කිරීම් තවදුරටත් ඉහළ නංවා ගැනීම අවශ්‍ය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මැද පෙරදිග ගැටුම් හේතුවෙන් මෙරට ඉන්ධන ආනයනික වියදම 2026 වසරේදී ඩොලර් බිලියන 6ක් දක්වා ඉහළ යා හැකි බවට ද අනතුරු ඇඟවීය. තවදුරටත් විදේශීය ආර්ථික බලපෑම්වලට මුහුණ දීමේ හැකියාව සහ රටේ ආර්ථික තත්ත්වය මත අනාගත තීරණ ගන්නා බවත්, වත්මන් වැඩපිළිවෙළ අවසන් වීමට තව මාස 6ක පමණ කාලයක් ඉතිරිව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල්ව අධ්‍යයනය කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.













