2028 ඔලිම්පික් ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට පදක්කමක් දිනා දීමේ අරමුණින් කැපවී පුහුණුවීම් සිදුකරන හෙල්ල විසි කිරීමේ ක්රීඩක රමේෂ් තරංගට නිල පෝෂණ හා සුවතා සහකරු ලෙස CIC Holdings අත්වැල සපයා තිබේ.
මෙම සහයෝගීතාවයේ ප්රධාන අරමුණ වන්නේ ජාත්යන්තර මට්ටමේ තරග සඳහා සූදානම් වන රමේෂ්ගේ ශාරීරික යෝග්යතාව, පෝෂණය සහ සමස්ත යහපැවැත්ම ශක්තිමත් කරමින් ඔහුගේ ක්රීඩා ඉලක්ක කරා යාමට සහාය වීමයි.
2026 තරග වාරයේදී දස්කම් දැක්වූ රමේෂ්, රෝමයේ පැවති තරගයකදී මීටර් 92.62ක දුරක් හෙල්ල විසි කරමින් නව ශ්රී ලංකා ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය. පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ රන් පදක්කම මෙන්ම ශ්රී ලංකාවට හිමි පළමු දියමන්ති ලීග් ශූරතාවද දිනාගැනීමට ඔහු සමත් වී තිබේ.
එමෙන්ම, පසුගියදා බුඩාපෙස්ට් නුවර පැවති සමාරම්භක ලෝක මලල ක්රීඩා Ultimate ශූරතාවලියේ අවසන් වටයේදී මීටර් 91.09ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගැනීමටද රමේෂ් සමත් විය. ජපානයේ පැවති 2026 ආසියානු ක්රීඩා උළෙලේදී මීටර් 88.55ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනාගැනීමද ඔහුගේ ජයග්රහණ අතරට එක් වේ.
CIC Holdings සමූහයේ ප්රධාන විධායක නිලධාරී අරෝෂන් සෙරසිංහ මහතා සඳහන් කළේ, ශ්රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට සහ දේශීය ප්රජාවන්ගේ දියුණුවට දායක වීමේ සමාගමේ දිගුකාලීන කැපවීමේ කොටසක් ලෙස මෙම සහයෝගීතාව ඇති කරගත් බවයි.
2028 ඔලිම්පික් ක්රීඩා උළෙල ඉලක්ක කරගත් රමේෂ්ගේ ගමනට පෝෂණය සහ සුවතාව සම්බන්ධ සහාය ලබාදීම හරහා, ජාත්යන්තර මට්ටමේ ජයග්රහණ අත්කර ගැනීමට කැපවන ශ්රී ලාංකික ක්රීඩකයන්ට ශක්තියක් වීම CIC Holdings හි අරමුණයි.














