ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) නිකුත් කළ නවතම World Economic Outlook වාර්තාවට අනුව, ශ්රී ලංකාවේ ආර්ථිකය 2026 වසරේදී 4%කින් සහ 2027 වසරේදී 3.7%කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
2025 වසරේදී 5%ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්රී ලංකාවේ ඉදිරි වසරවල ආර්ථික වර්ධන වේගය ක්රමයෙන් පහළ යනු ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.
එසේම, මෙරට උද්ධමන අනුපාතය 2026 වසරේදී 5.3%ක් සහ 2027 වසරේදී 5.4%ක් වනු ඇතැයි IMF අපේක්ෂා කරයි. 2025 වසරේදී වාර්තා වූ 0.5%ක ඍණ උද්ධමන අනුපාතයට සාපේක්ෂව මෙය ඉහළ යාමකි.
ශ්රී ලංකාවේ ජංගම ගිණුමේ ශේෂය 2026 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක හිඟයක් සහ 2027 වසරේදී 0.3%ක හිඟයක් වාර්තා කරනු ඇතැයිද පුරෝකථනය කර තිබේ. 2025 වසරේදී එම ගිණුමේ 1.6%ක අතිරික්තයක් වාර්තා වී ඇත. මේ අතර, විරැකියා අනුපාතය 2026 සහ 2027 යන වසර දෙකේදීම 3.9% මට්ටමේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගෝලීය ආර්ථික වර්ධනය 2025 වසරේ 3.5% සිට 2026 වසරේ 3.1% දක්වා පහළ ගොස්, 2027 වසරේදී 3.4% දක්වා යළි ඉහළ යනු ඇතැයි IMF පුරෝකථනය කරයි. මැදපෙරදිග ගැටුම්, වෙළෙඳ ආතතීන් සහ ඉහළ යන බලශක්ති හා ආහාර මිල ගණන් ලෝක ආර්ථිකයට අවදානම් ඇති කරන බවද එම වාර්තාව අවධාරණය කරයි.














