ත්රිකුණාමලය වරාය ආශ්රිතව හරිත බලශක්ති මධ්යස්ථානයක් (Green Energy Hub) පිහිටුවීමේ යෝජනා සහ වරාය සංවර්ධන කටයුතු පිළිබඳව ශ්රී ලංකාව සහ යුරෝපා සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
අමාත්යාංශ පරිශ්රයේදී පැවැති මෙම සාකච්ඡාව සඳහා ආසියානු-පැසිෆික් කලාපයේ අධ්යක්ෂ පීටර්ස් උස්ටුබ්ස් (Peteris Ustubs) මහතාගේ ප්රධානත්වයෙන් යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා එක්වී ඇත. මෙහිදී ශ්රී ලංකාව අලුත් කළ හැකි බලශක්ති නිෂ්පාදනය සහ බලශක්ති ගබඩා තාක්ෂණයන් වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ යුරෝපා සංගමයේ පැසසුමට ලක් වූ අතර, හරිත බලශක්තිය වෙත සංක්රමණය වීමට සහයෝගය දැක්වීමට ඔවුන් කැමැත්ත පළ කළේය.
කොළඹ වරායේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ කන්ටේනර් පර්යන්ත සංවර්ධනය මෙන්ම ත්රිකුණාමලයේ යෝජිත හරිත බලශක්ති මධ්යස්ථානය සඳහා ශක්යතා අධ්යයනයක් (Feasibility Study) සිදුකිරීමේ වැදගත්කම අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය. යුරෝපා සංගමයේ ‘Global Gateway’ වැඩසටහන යටතේ වරාය සංවර්ධන ව්යාපෘති සඳහා සහය ලබා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිތුවක්කු සහ අමාත්යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

















