පාකිස්තානයේ ෆයිසලාබාද්හි පැවැත්වෙන ශ්රී ලංකා, පාකිස්තාන සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා යෞවනියෝ සමත්වූහ.
තරගාවලියේ අටවැනි තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින් ශ්රී ලංකාව මෙම ජයග්රහණය වාර්තා කළේය.
පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන යෞවනියෝ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 105ක් රැස් කළහ. ෂහාර් බානෝ නොදැවී ලකුණු 24ක් සහ අක්සා හබීබ් ලකුණු 20ක් ලබාගත්හ.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී ලකුණු 106ක් ලබාගනිමින් ජය තහවුරු කළේය. සංජනා කාවින්දි ලකුණු 46ක් රැස් කරමින් පිත්තෙන් දායක වූවාය.
පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ ලිමන්සා තිලකරත්න ලකුණු 14කට කඩුලු 3ක් දවාගත් අතර, පිත්තෙන් නොදැවී ලකුණු 16ක් ලබාගනිමින් තරගයේ වීරවරිය සම්මානයද දිනාගත්තාය. නෙත්මි උපේක්ෂා ද ලකුණු 16ක් රැස් කළාය.
ඒ අනුව ශ්රී ලංකා යෞවනියන් ඔක්තෝබර් 16 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයේදී බංග්ලාදේශය සමඟ තරග වැදීමට නියමිතය.














