මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ‘කුඩු සළිඳු’ගේ ගෝලයෙකු බව කියන ‘පියුමා’ නමැති සැකකරු ලබන ඔක්තෝබර් 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද (14) නියෝග කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ අළුබෝමුල්ල, අරුක්ගොඩ, කමරදූව ප්රදේශයේ පදිංචි හපුආරච්චිගේ දොන් පියුම් හස්තික නොහොත් ‘පියුමා’ නමැත්තාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාත්යන්තර පොලිසිය හරහා නිකුත් කර තිබූ රතු නිවේදනයකට අනුව සැකකරු 2024 පෙබරවාරි 15 වැනිදා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් තිබේ.
ඩුබායිහි සිට මෙරට සිදුකළ බව කියන ඝාතන ඇතුළු අපරාධ මෙහෙයවීමට සැකකරු සම්බන්ධ බවට පොලිසිය චෝදනා කරයි. විදේශගතව සිට මෙරට පාතාල කල්ලි මෙහෙයවීම, මනුෂ්ය ඝාතන, මත්ද්රව්ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇප මත සිටින සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සළිඳු’ නමැති සැකකරු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවටද පියුම් හස්තිකට චෝදනා එල්ල වී තිබේ.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ බන්ධනාගාරය මගින් සූම් තාක්ෂණය ඔස්සේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.
















