විදේශ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට ජාත්යන්තර රැකියා අවස්ථා හඳුන්වා දීම සහ නිවැරදි මඟපෙන්වීම ලබා දීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ රැකියා ප්රවර්ධන වැඩසටහනක් යාපනයේ කනගරත්නම් මහා විද්යාලයේදී සාර්ථකව පවත්වා තිබේ.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දිවයින පුරා ක්රියාත්මක කරන වැඩසටහනක එක් අදියරක් ලෙස උතුරු පළාත වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි. ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකරන් මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා බලපත්රලාභී විදේශ රැකියා ඒජන්සි නියෝජිතයන්, වෘත්තීය පුහුණු ආයතන සහ බැංකු නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ. යුරෝපා රටවල් සහ මැදපෙරදිග ඇතුළු ගමනාන්ත රැසක පවතින රැකියා අවස්ථා පිළිබඳව මෙහිදී තරුණ තරුණියන්ට තොරතුරු ලබා දී ඇති අතර, ජපාන රැකියා අවස්ථා පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ සැසියක් ද මීට සමගාමීව ක්රියාත්මක කෙරිණි. එපමණක් නොව, විදේශගතවී යළි පැමිණ ස්වයං රැකියාවල නියැලෙන පුද්ගලයන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ‘ සංක්රමණික වෙළඳපොළක්’ (migrant market) ද මෙහිදී සංවිධානය කර තිබුණි.














