රැකියා ස්ථානවල ආරක්ෂාව යනු අමතර වියදමක් ලෙස නොසලකා මානව ජීවිතය වෙනුවෙන් කරන ලද ආයෝජනයක් ලෙස සැලකිය යුතු බවත්, සේවකයෙකුගේ ජීවිතයේ අගය කිසිදු මුදලකින් මැනිය නොහැකි බවත් කම්කරු අමාත්ය වෛද්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පවසයි.
ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්ය සතිය වෙනුවෙන් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු ශාලාවේ පැවති සම්මන්ත්රණයක ආරම්භක උත්සවය අමතමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය. වැඩබිම්වල ආරක්ෂාව නීතිමය අවශ්යතා ඉක්මවා ගිය සේවා ස්ථාන සංස්කෘතියක අත්යවශ්ය අංගයක් විය යුතු බව පෙන්වා දුන් හෙතෙම, ඇතැම් ආයතන සේවක ආරක්ෂාවට ප්රමුඛත්වය දෙනවා වෙනුවට අනතුරකින් පසු ගෙවිය යුතු වන්දි මුදල සමඟ අනතුරු වැළැක්වීමේ වියදම සැසඳීම අනුමත කළ නොහැකි බව අවධාරණය කළේය. වෘත්තීය සුරක්ෂිතතාව වෙනුවෙන් ආයෝජනය කිරීමෙන් සේවක කාර්යක්ෂමතාව සහ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නංවා ගත හැකි බවද අමාත්යවරයා පෙන්වා දුන්නේය. නියෝජ්ය කම්කරු අමාත්ය මහින්ද ජයසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.














