‘දිට්වා’ ස්වාභාවික ව්යසනයෙන් දැඩි ලෙස හානි වූ බදුලු ඔය වාරිමාර්ග ව්යාපෘතියේ ස්ථිර ප්රතිසංස්කරණ කටයුතු, දැඩි කැපවීමෙන් සිදුකළ මාස හතරක පුනරුත්ථාපන වැඩසටහනකින් පසු මේ වන විට අවසන් අදියරට ළඟා වී තිබේ.
ව්යාපෘතියේ ස්ථිර ප්රතිසංස්කරණ කටයුතු වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය ජුනි 5 වැනි දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. මුල් අවධියේදී වැලි කොට්ට යොදා තාවකාලික ජල සැපයුම් ක්රමවේද ක්රියාත්මක කළ අතර, අනතුරුව ජුනි මාසයේදී ස්ථිර අලුත්වැඩියා කටයුතු ආරම්භ විය. ව්යාපෘතිය යටතේ ප්රධාන ඇළ මාර්ගයේ කිලෝමීටර 2ක කොටසක් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර කොන්ක්රීට් යොදා සකස් කර ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් සහ කාර්ය මණ්ඩලය විසින් සීමිත ශ්රම බලකායක් යොදාගනිමින් මෙම විශාල පරිමාණ ප්රතිසංස්කරණය සාර්ථකව නිම කර ඇති අතර, සම්පූර්ණ කරන ලද මෙම ව්යාපෘතිය හරහා ගොවිබිම් අක්කර 1,775කට අධික ප්රමාණයකට යළි ජලය සැපයෙනු ඇත.


















