ශ්රී ලංකාවේ ජාතික බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ ප්රගතිය අමෙරිකාවෙන් පැමිණි නියෝජිත පිරිසක් විසින් අගය කර ඇති අතර, රට බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම සඳහා අමෙරිකාවේ මූල්ය හා තාක්ෂණික සහය අඛණ්ඩව ලබා දෙන බවට ප්රතිඥා දී තිබේ.
පාර්ලිමේන්තු පරිශ්රයේදී ඊයේ (13) පැවති හමුවකදී මෙම ප්රසාදය පළ විය. ශ්රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භයේ සිටම අමෙරිකානු රජය සහයෝගය ලබා දී ඇති අතර, 2026 වසර සඳහා මේ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5ක් වෙන් කර ඇත. නියෝජිත පිරිස අමතමින් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ වැඩසටහන වේගවත් කිරීම සඳහා අමෙරිකාවේ අඛණ්ඩ සහය ඉතා වැදගත් වන බවයි. දැනට ඉතිරිව ඇත්තේ වර්ග කිලෝමීටර 20.51ක බිම් ප්රමාණයක් පමණක් බවත්, හැකි ඉක්මනින් එම ප්රදේශද නිදහස් කර බිම් බෝම්බවලින් තොර රටක් බිහි කිරීම රජයේ අරමුණ බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. අමෙරිකානු කොංග්රස් කාර්ය මණ්ඩල සාමාජිකයන්, ‘HALO Trust’ සහ වෙනත් සංවිධානවල නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්වී සිටියහ.


















