යුක්රේනයට යුරෝපා සංගමය ලබාදෙන සහාය හේතුවෙන් රුසියාව සහ යුරෝපා රටවල් අතර පවතින ආතතීන් මධ්යයේ, යුරෝපා සමාගම් කිහිපයක රුසියාවේ ඇති වත්කම් තාවකාලික පාලනයට ගැනීමට රුසියාව පියවර ගෙන තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නියෝගයක් අනුව මෙම පියවර ගෙන ඇති බව Reuters පුවත් සේවය වාර්තා කරයි.
අදාළ නියෝගයට ප්රංශයේ බිම් ආවරණ නිෂ්පාදන සමාගමක් වන Tarkett, ජර්මනියේ ඇසුරුම් නිෂ්පාදන සමාගමක් වන Menshen, ස්වීඩනයේ Sverige International Holdings සහ නෙදර්ලන්තයට සම්බන්ධ Sonoco සමාගම්වල වත්කම් ඇතුළත් වේ.
පසුගිය මාසයේදී Nestlé, Auchan සහ Metro සමාගම්වල රුසියානු වත්කම් සම්බන්ධයෙන්ද මෙවැනි පියවර ගෙන තිබිණි. යුරෝපා රටවල් යුක්රේන යුද්ධයට දක්වන දායකත්වයට ප්රතිචාරයක් ලෙස මෙම ක්රියාමාර්ග ගත් බව ක්රෙම්ලිනය ප්රකාශ කර ඇති අතර, එය ආපසු හැරවිය හැකි පියවරක් බවද සඳහන් කර තිබේ.
යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි යුරෝපා සංගම් සමුළුවට සහභාගී වීමට නියමිතව තිබූ අවස්ථාවට පෙර මෙම තීරණය ප්රකාශයට පත්වීම විශේෂත්වයකි.
එමෙන්ම, යුරෝපයේ අත්හිටුවා ඇති රුසියානු වත්කම්වලින් කොටසක් පාලනය කිරීමට ඇමෙරිකාව උත්සාහ කළ හැකි බවටද වාර්තා පළ වී තිබේ.
















