දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අද (19) සිය සහතිකය සටහන් කර තිබේ. ඒ අනුව එය **2026 අංක 25 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත** ලෙස බලාත්මක වී ඇත.
අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මෙම පනත් කෙටුම්පත 2026 අගෝස්තු 19 වැනිදා පාර්ලිමේන්තුවට පළමුවර කියවීම සඳහා ඉදිරිපත් කර තිබුණි. එහි දෙවැනිවර කියවීමේ විවාදය ඔක්තෝබර් 8 වැනිදා පැවැති අතර, සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත වූ බව වාර්තා වේ.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්රියාත්මක කිරීමේදී හඳුනාගත් නීතිමය, අර්ථ නිරූපණමය, පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු විසඳීම මෙම සංශෝධනවල ප්රධාන අරමුණකි. එමෙන්ම සිංහල සහ ඉංග්රීසි පනත් පාඨ අතර පවතින නොගැළපීම් නිවැරදි කිරීම සහ දූෂණ වැරදි සම්බන්ධ විමර්ශන හා නඩු පැවරීමේ ක්රියාවලීන් වඩාත් විධිමත් කිරීම ද ඊට ඇතුළත් වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම සහ මධ්යගත ඉලෙක්ට්රොනික පද්ධතියක් ඔස්සේ වත්කම් හා බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීමේ ක්රියාවලිය විධිමත් කිරීම ද මෙම සංශෝධන මඟින් අපේක්ෂා කෙරේ.
නව සංශෝධනවල අරමුණ වන්නේ දූෂණ විරෝධී නීතිමය හා ආයතනික රාමුව ශක්තිමත් කරමින්, අදාළ නීතිය වඩාත් කාර්යක්ෂමව හා වගකීමෙන් යුතුව ක්රියාත්මක කිරීමට අවශ්ය පදනම සැකසීමයි.
















