පසුගිය 17 වන දින පෙරවරු 11.43ට දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමට හේතුව පැහැදිලි කරමින් බලශක්ති අමාත්යාංශය අද (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා සඳහන් කළේ, නොරොච්චෝලේ විදුලි බලාගාරයේ පළමු වන ජනන යන්ත්රයේ පැවති මෙගාවොට් 187ක ධාරිතාව ඉතා කෙටි කාලයක් තුළ මෙගාවොට් 5කට වඩා අඩු අගයකට පහළ බැසීම මෙම හදිසි විදුලි බිඳවැටීමට සෘජුවම බලපෑ බවයි. සාමාන්යයෙන් 50.5 සහ 49.5 අතර සංඛ්යාත (Frequency) පරාසයක පවත්වාගෙන යන විදුලි පද්ධතියේ සංඛ්යාතය, අදාළ හදිසි තත්ත්වයත් සමඟ ඉතා කෙටි කාලයකින් පහත වැටීම හේතුවෙන් සමස්ත විදුලි පද්ධතියම මෙලෙස කඩා වැටී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.















