පාසල් සිසුවෙකුට විදුහල්පති නිල නිවසේදී පහරදී තුවාල සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් හැටන්, නෝර්වුඩ් ප්රදේශයේ ප්රධාන දෙමළ පාසලක විදුහල්පතිවරයා මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැටන් මහේස්ත්රාත් පීටර් පෝල් මහතා නියෝග කර තිබේ.
අදාළ විදුහලේ අටවන ශ්රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට විදුහල්පතිවරයා, ඔහුගේ බිරිඳ සහ තවත් පිරිසක් එක්ව පහරදී තුවාල සිදුකළ බවට චෝදනා එල්ල වී ඇත.
සිද්ධියෙන් පසු සිසුවාගේ දෙමාපියන් ඔහු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසියට ද දැනුම් දී තිබේ. අනතුරුව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
අධිකරණය මගින් නිකුත් කර තිබූ නොතිසි අනුව පසුගිය 20 වැනිදා විදුහල්පතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.













