ඇමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු යුක්රේනයේ කියෙව් අගනුවරට රුසියානු මිසයිල හා ඩ්රෝන ප්රහාර එල්ල වී තිබේ.
යුක්රේනයේ හදිසි සේවා අංශය සඳහන් කළ පරිදි, බදාදා රාත්රියේ සිට බ්රහස්පතින්දා අලුයම දක්වා එල්ල වූ ප්රහාරවලින් අවම වශයෙන් එක් අයෙකු මියගොස් තවත් 22 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් අතර ළමුන් සිව්දෙනෙකු ද සිටින බව වාර්තා වේ.
ප්රහාර හේතුවෙන් ඩ්නිප්රෝ ගඟ හරහා දිවෙන පිව්දෙනි පාලම ආශ්රිත ප්රවාහන යටිතල පහසුකම්වලට ද හානි සිදුව ඇති බව කියෙව් නගරාධිපති විටාලි ක්ලිච්කෝ පවසා තිබේ.
මේ අතර, රුසියාවේ මොස්කව් ප්රදේශයට යුක්රේනයෙන් ඩ්රෝන 630ක් එල්ල වූ බව මොස්කව් නගරාධිපති සර්ගේයි සොබියානින් ප්රකාශ කර ඇත. ඒවායින් බොහොමයක් ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කළ බවද ඔහු සඳහන් කර තිබේ.
විට්කොෆ් සහ පුටින් අතර සාකච්ඡාවෙන් පසු රුසියාව, යුක්රේනය සහ ඇමෙරිකාව අතර සාම සාකච්ඡා යළි ආරම්භ කිරීමට “මූලධර්මිකව” සූදානම් බව ක්රෙම්ලිනය පවසා ඇත. එහෙත් යුක්රේන හා යුරෝපීය යෝජනාවල ප්රමාණවත් අන්තර්ගතයක් නොමැති බවට රුසියාව අදහස් පළ කර තිබේ.














