ශ්රී ලාංකේය පාසල් ක්රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් මහනුවර සරසවි උයන විද්යාලය සහ මහනුවර හේමමාලි බාලිකා විද්යාලය අතර පැවැත්වෙන මංගල ‘සිංහයන්ගේ සටන’ බාලිකා රග්බි මහා තරගය හෙට (24) මහනුවර බෝගම්බර ක්රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ශ්රී ලංකා පාසල් ශිෂ්යාවන්ගේ රග්බි ක්ෂේත්රය තුළ දැනට පැවැත්වෙන එකම මහා තරගය ලෙස වාර්තා අතරට එක්වන මෙම තරගය, මෙරට කාන්තා රග්බි ක්රීඩාවේ අනාගත ගමන්මඟ තීරණය කරන තීරණාත්මක මෙන්ම ඓතිහාසික ක්රීඩා උළෙලක් ලෙස ද සැලකේ. පේරාදෙණියේදී පැවැති විශේෂ මාධ්ය හමුවේදී ශූරතා කුසලානය එළිදැක්වූ අතර, දෙපිලේම නායිකාවන් සහ විදුහල්පතිවරුන් විසින් ඉදිරිපත් කළ අදහස් හරහා මෙම මංගල තරගයේ පවතින දැඩි තරඟකාරීත්වය සහ උණුසුම් මුහුණුවර මනාව තහවුරු විය.
මෙම තරගය සඳහා එක්වන පාසල් කණ්ඩායම් දෙකෙහිම ක්රීඩිකාවන් රැසක් ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ජාතික රග්බි සංචිතය ද නියෝජනය කිරීම හේතුවෙන්, තරගයේ තාක්ෂණික මට්ටම සහ තරඟකාරීත්වය ඉහළ තලයක පවතිනු ඇති බවට ක්රීඩා විශ්ලේෂකයෝ විශ්වාස පළ කරති. හේෂාන් ගමගේ සහ සුලෝචනා අටවුඩා යන පළපුරුදු පුහුණුකරුවන්ගේ මඟපෙන්වීම යටතේ සරසවි උයන විද්යාලයීය නායිකා කවිෂා රශ්මි සහ හේමමාලි බාලිකා විද්යාලයීය නායිකා හංසි ගුණසේකරගේ මෙහෙයවීමෙන් කණ්ඩායම් දෙකම කරට කර සටනකට සූදානමින් පසුවේ. ආදි ශිෂ්ය ක්රීඩා සංගමය සහ සරසවි උයන මහා විද්යාලයේ ආදි ශිෂ්ය ප්රජාවගේ අනුග්රහයෙන් සංවිධානය වන මෙම තරගාවලිය තුළින් දක්ෂතම ක්රීඩිකාව සහ නැගී එන තරුව වෙනුවෙන් විශේෂිත සම්මාන පිරිනැමීමට ද කටයුතු යොදා ඇත.
සාම්ප්රදායික පිරිමි ක්රීඩාවක් ලෙස පැවැති රග්බි ක්රීඩාව තුළ කාන්තා නියෝජනය ජාතික මට්ටමින් ප්රමිතීකරණය කිරීම සඳහා මෙම මංගල මහා තරගය සපයන උත්තේජනය සුළුපටු නොවේ. පාසල් මට්ටමින් බාලිකා රග්බි ක්රීඩාව ප්රචලිත කිරීම සඳහා අධ්යාපන අමාත්යාංශය සහ ක්රීඩා පරිපාලන ආයතන සෘජු දායකත්වයක් ලබාදීමේ අවශ්යතාව මෙමඟින් ඉස්මතු වන අතර, ඉදිරි වසරවලදී සෙසු ප්රමුඛ බාලිකා පාසල් ද මෙම ක්රීඩා සංස්කෘතිය වැළඳගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පුරෝගාමී පියවර ශ්රී ලංකා කාන්තා ජාතික රග්බි කණ්ඩායමට අනාගතයේදී ජාත්යන්තර තලයේ ජයග්රහණ කරා ගමන් කිරීමට අවශ්ය ශක්තිමත් පදනම සකස් කරදෙනු ඇත.













