මෙරටදී සිදු කිරීමට අපහසු සහ අතිශය සංකීර්ණ හෘද රෝගවලින් පෙළෙන ශ්රී ලාංකික ළමා හෘද රෝගී දරුවන් 13 දෙනෙකු වෙනුවෙන් ‘Take Heart Mercy Mission’ විදේශීය විශේෂඥ වෛද්ය කණ්ඩායම විසින් ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ හෘද හා උරස් ශල්ය ඒකකයේදී නොමිලේ හෘද සැත්කම් සිදු කිරීමට පියවර ගෙන තිබේ. දේශීය සෞඛ්ය කාර්ය මණ්ඩලය හා එක්ව ඉහළ තාක්ෂණික හා වෛද්ය ප්රමිතීන්ට අනුකූලව ක්රියාත්මක කෙරෙන මෙම සුවිශේෂී වෛද්ය මෙහෙයුම මඟින් දීර්ඝ කාලයක් තිස්සේ ජීවිත තර්ජනයට මුහුණ දී සිටි අසරණ දරුවන් රැසකට නිරෝගී අනාගතයක් පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් එක්කර ඇත. සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා ද ඊයේ (22) කරාපිටිය ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් මෙම සංකීර්ණ ශල්යකර්ම සිදුවන ආකාරය සහ සැත්කම් ලැබූ දරුවන් ළමා දැඩි සත්කාර ඒකකය තුළ සුවය ලබන ආකාරය සෘජුවම නිරීක්ෂණය කළේය.
අධික පිරිවැයක් දැරීමට සිදුවන මෙවැනි අතිසංකීර්ණ ළමා හෘද සැත්කම් රාජ්ය රෝහල් පද්ධතිය තුළ නොමිලේ ඉටුකර දීමට විදේශීය වෛද්ය විශේෂඥයන් දැක්වූ දායකත්වය මෙරට පොදු මහජන සෞඛ්ය ක්ෂේත්රයට ලැබුණු දැවැන්ත ශක්තියකි. දේශීය විශේෂඥ වෛද්යවරුන්ට සහ සෞඛ්ය කාර්ය මණ්ඩලවලට ජාත්යන්තර මට්ටමේ අත්දැකීම් හා නවීන ශල්ය උපායමාර්ග හුවමාරු කර ගැනීමට ද මෙමඟින් පූර්ණ අවස්ථාව හිමිවී තිබීම විශේෂත්වයකි. ආර්ථික අභියෝග හමුවේ පීඩාවට පත්ව සිටින අසරණ පවුල්වල දරුවන්ට නොමිලේ මෙවැනි ජීවිතාරක්ෂක වෛද්ය ප්රතිකාර ලැබීම හරහා මෙරට නිදහස් සෞඛ්ය සේවයේ ගුණාත්මකභාවය සහ සමාජයීය වගකීම තවදුරටත් තහවුරු වන බව විශේෂඥයන්ගේ අදහසයි.
ජාත්යන්තර වෛද්ය කණ්ඩායම් සමඟ එක්ව ඉදිරියටත් මෙවැනි විශේෂිත සායනික සහ ශල්යකර්ම ව්යාපෘති දිවයිනේ ප්රධාන රෝහල් කේන්ද්ර කරගනිමින් ව්යාප්ත කිරීමට සෞඛ්ය අමාත්යාංශයේ අවධානය යොමු වී තිබේ. කලාපීය ජාතික රෝහල්වල පවතින යටිතල පහසුකම් සහ දැඩි සත්කාර ඒකක තවදුරටත් නවීකරණය කරමින්, සංකීර්ණ රෝගී තත්ත්වයන් සඳහා දේශීයව ලබාදිය හැකි ප්රගතිගාමී විසඳුම් ශක්තිමත් කිරීම ඉදිරි කාලසීමාව තුළ ජාතික සෞඛ්ය ප්රතිපත්තියේ ප්රමුඛතාවක් වනු ඇත.













