ශ්රී ලංකාව සහ රුමේනියාව අතර හයවන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය රුමේනියාවේ බුකාරෙස්ට් නුවරදී පවත්වා තිබේ. එහිදී වෙළෙඳාම, ආයෝජන, විදේශ රැකියා, සංචාරක කර්මාන්තය සහ අධ්යාපනය ඇතුළු ක්ෂේත්ර රැසක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
ශ්රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා මෙම සාකච්ඡාවලට එක්වූ අතර, රුමේනියාවේ උපායමාර්ගික හා ගෝලීය කටයුතු පිළිබඳ රාජ්ය ලේකම් ඇනා-ක්රිස්ටිනා ටින්කා මහත්මිය සමඟ ඒකාබද්ධව උපදේශන වටයේ සම සභාපතිත්වය දැරීය.
රුමේනියාවේ පදිංචිව සිටින සහ රැකියාවල නිරතව සිටින ශ්රී ලාංකිකයන් 26,000කට ආසන්න පිරිසකගේ සුබසාධනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු විය.
විදේශ රැකියා ක්ෂේත්රයට අදාළ ප්රතිපත්තිමය හා ආයතනික කරුණු පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන තිබේ. එම කරුණු සම්බන්ධ ඉදිරි ක්රියාමාර්ග පවතින නීතිමය හා පරිපාලන රාමු යටතේ තවදුරටත් සාකච්ඡා කිරීමට එකඟ වී ඇති අතර, ශ්රී ලාංකික රියදුරු බලපත්ර සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳවද අවධානය යොමු කර ඇත.
මීට අමතරව, වෙළෙඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම, කොළඹ සහ කොන්ස්ටන්සා වරායන් අතර සමුද්රීය සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ ආර්ථික හවුල්කාරිත්වය වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ. කලාපීය හා ගෝලීය වර්ධනයන් පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන ඇත.
2027 වසරේදී ශ්රී ලංකාව සහ රුමේනියාව අතර රාජ්යතාන්ත්රික සබඳතාවල 70 වැනි සංවත්සරය සැමරීමට නියමිත පසුබිමක, දෙරට අතර දිගුකාලීන මිත්රත්වය දෙරටේ ජනතාවට ප්රායෝගික ප්රතිලාභ සැලසෙන සහයෝගීතාවක් බවට පත් කිරීමේ වැදගත්කමද දෙපාර්ශ්වය යළි අවධාරණය කර තිබේ.
















