භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරවලින් පිටතට රැගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ ක්රියාත්මක කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් වෙත විශේෂ අභ්යන්තර චක්රලේඛයක් නිකුත් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
එම නිර්දේශ ගැසට් කිරීම හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අවශ්ය නොවන බව ද අමාත්යවරයා සඳහන් කර තිබේ. අදාළ නිර්දේශ සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගියදා මෙම කමිටුව පත් කරනු ලැබීය.
ශ්රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පාලනය කරන ප්රධාන නීතිමය ලියවිල්ල වන්නේ 1877 අංක 16 දරන බන්ධනාගාර ආඥාපනතයි. බ්රිතාන්ය පාලන සමයේදී හඳුන්වා දුන් මෙම ආඥාපනත මඟින් බන්ධනාගාර නිලධාරීන්ගේ පත්වීම්, කාර්යභාරයන් සහ බලතල මෙන්ම රැඳවියන්ගේ සෞඛ්යය, ආහාර, විනය, ආරක්ෂාව සහ බන්ධනාගාර මාරු කිරීම් සම්බන්ධ කරුණු ද නියාමනය කෙරේ.
වර්තමාන සමාජීය අවශ්යතා සහ ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට ගැළපෙන පරිදි පවතින ආඥාපනත වෙනුවට නව බන්ධනාගාර පරිපාලන පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ද ලැබී තිබේ.
එමෙන්ම, බන්ධනාගාර පද්ධතියට අදාළ නීති, රෙගුලාසි සහ ස්ථාවර නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුවේ වාර්තාවක් ද රජයට භාර දී ඇති බව වාර්තා වේ.
















