එක්සත් අරාබි එමීර් රාජ්යයේ (UAE) රාස් අල් ඛයිමා එමීර් රාජ්යයේ සියලුම වෙරළ තීරයන් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මුහුදේ සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් අසල්වැසි උම් අල් කුවේන් සහ සාජා ප්රදේශවල වෙරළ තීරයන් ද තාවකාලිකව වසා දැමීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
UAE පරිසර හා දේශගුණික විපර්යාස අමාත්යාංශය සඳහන් කර ඇත්තේ මුහුදට කාන්දු වූ තෙල් පාලනය කිරීම සඳහා මෙහෙයුම් ක්රියාත්මක වන අතර පාරිසරික බලපෑම් පිළිබඳ තක්සේරු කිරීම් ද සිදුකරන බවයි.
උම් අල් කුවේන් ප්රදේශයේ වෙරළ තීරයන් සහ වෙරළබඩ ප්රදේශ තාක්ෂණික කණ්ඩායම් විසින් පරීක්ෂා කර අවශ්ය ආරක්ෂක පියවර තීරණය කරන තෙක් වසා තැබීමට නියමිතය. සාජාහි අල් හම්රියා වෙරළ ද ආරක්ෂිත පියවරක් ලෙස වසා දමා තිබේ.
සාජා, අජ්මාන් සහ උම් අල් කුවේන් ප්රදේශවල පදිංචිකරුවන්ට අසාමාන්ය දුර්ගන්ධයක් දැනී ඇති අතර, එම දුර්ගන්ධය සෞඛ්ය අවදානමක් ඇති නොකරන බව UAE පරිසර අමාත්යාංශය ප්රකාශ කර ඇත.
කෙසේ වෙතත්, තෙල් කාන්දුවට සම්බන්ධ නෞකාව නිල වශයෙන් නම් කිරීමට හෝ කාන්දුවට හේතුව හෙළි කිරීමට UAE බලධාරීන් මෙතෙක් පියවර ගෙන නොමැත. ධීවරයන්ට සහ මුහුද භාවිත කරන අනෙකුත් පුද්ගලයන්ට බලපෑමට ලක්වූ ප්රදේශවලින් ඈත්ව සිටින ලෙස ද උපදෙස් දී තිබේ.














