බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින කාලගුණ පද්ධතියක් හේතුවෙන් ගැඹුරු මුහුදේ යාත්රා කරන බහුදින ධීවර යාත්රා සහ නාවික ප්රජාව සඳහා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඔක්තෝබර් 24 වැනිදා පස්වරු 4.30ට නිකුත් කළ එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු බව සඳහන් වේ.
උතුරු අන්දමන් දූපත් ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වීමට ඉහළ සම්භාවිතාවක් පවතින බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඔක්තෝබර් 25 වැනිදා වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් 26 වැනිදා උදෑසන වන විට බටහිර-මධ්යම බෙංගාල බොක්කේදී සුළි කුණාටුවක් බවටත් වර්ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව අනාවැකියේ දැක්වේ.
මේ හේතුවෙන් අදාළ ගැඹුරු මුහුදු ප්රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්රා නොකරන ලෙස ධීවර හා නාවික ප්රජාවට උපදෙස් දී තිබේ. දැනට එම මුහුදු ප්රදේශවල සිටින යාත්රා වහාම ආරක්ෂිත ප්රදේශ කරා ගමන් කළ යුතු බව ද බලධාරීන් අවධාරණය කරයි.
ඉදිරියේදී නිකුත් කෙරෙන නිල කාලගුණ නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙස ද ධීවර හා නාවික ප්රජාවගෙන් ඉල්ලා සිටී.














