සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය ‘රෝගාබාධ වලක්වා ගැනීම, ප්රතිකාර, පුනරුත්ථාපනය සහ සාමාන්ය ජනතාවගේ කාර්යභාරය’ යන තේමාව යටතේ ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් කොළඹදී සාර්ථකව පවත්වා තිබේ. ආබාධ සහිත පුද්ගලයන් සෞඛ්යමය සහ සාමාජික වශයෙන් මුහුණ දෙන බරපතළ අභියෝගයන් පිළිබඳව රාජ්ය හා වෛද්ය ක්ෂේත්රයේ ප්රමුඛ අවධානය යොමුව ඇති පසුබිමක පැවැති මෙම සමුළුව, සෞඛ්ය ප්රතිපත්තිය හා පොදු ප්රවාහන යටිතල පහසුකම් එකිනෙක යා කෙරෙන සුවිශේෂී ජාතික සංවාදයක් බවට පත්විය.
College of Specialists in Rheumatology, South Asian Surgical Care Society සහ The College of Surgeons of Sri Lanka යන ආයතනයන්හි පූර්ණ සහයෝගීතාවයෙන් පැවැති මෙම දෙදින සැසියේදී විශේෂඥ වෛද්යවරුන් රැසකගේ මානව සම්පත් දායකත්වය සහිතව ප්රජා ඒකාබද්ධතාව සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්රියාත්මක විය. මෙහිදී අදහස් දැක්වූ අමාත්ය බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නේ ආබාධ සහිත පුද්ගලයන් සමාජගත කිරීම වෛද්ය ප්රතිකාරවලට පමණක් සීමා නොවිය යුතු බවත්, පහසුවෙන් ගමන් කළ හැකි ප්රවාහන පද්ධතියක්, ප්රවේශ පහසුකම් සහිත පොදු ස්ථාන සහ සමාන අධ්යාපනික හා රැකියා අවස්ථා නිර්මාණය කිරීම රජයේ වගකීමක් බවත්ය.
ආබාධ සහිත තැනැත්තන් සමාජයට ගැළපෙන ලෙස වෙනස් කිරීමට උත්සාහ කරනවාට වඩා, සියලු දෙනාට සමානව ජීවත් විය හැකි බාධාරහිත පරිසරයක් ගොඩනැගීම කෙරෙහි ඉදිරි ප්රතිපත්තිමය නීතිමය රාමුව යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මහාමාර්ග හා නාගරික සංවර්ධන ක්ෂේත්රය තුළ ඉදිරියේදී සිදුවන යටිතල පහසුකම් සම්පාදනයේදී ආබාධ සහිත ජනතාවගේ ප්රවේශ අයිතිය තහවුරු කිරීමට රජය ලබාදුන් මෙම සහතිකය, ඉදිරි රාජ්ය ප්රතිපත්ති සම්පාදනයේදී තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇත.














