ඉරානය පිළිබඳ අර්බුදය නිරාකරණය කරගැනීමෙන් අනතුරුව අමෙරිකා එක්සත් ජනපදයේ ඊළඟ අවධානය කියුබාව වෙත යොමු කරන බවත්, ඒ පිළිබඳ එකඟතාවකට පැමිණීමේ නියෝජිතයා ලෙස අමෙරිකානු රාජ්ය ලේකම් මාකෝ රූබියෝ කියුබාවට පිටත් කර යවන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර තිබේ. ෆ්ලොරිඩාහි පැවැති මැතිවරණ ප්රචාරක රැලියක් අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා කළ මෙම සුවිශේෂී ප්රකාශයත් සමඟ, වොෂින්ටනය සහ හවානා පාලනය අතර පවතින දීර්ඝකාලීන භූ-දේශපාලනික උද්රේකකර තත්ත්වය නැවත වරක් ජාත්යන්තර දේශපාලන කරළියේ ප්රමුඛ අවධානයට ලක්ව ඇත.
වසර 60කට වැඩි කාලයක් මුළුල්ලේ ක්රියාත්මක වන ආර්ථික සම්බාධක හමුවේ කියුබාව මේ වන විට දැඩි බලශක්ති හා යටිතල පහසුකම් කඩා වැටීමකට මුහුණ දී සිටින අතර, පවතින තෙල් හිඟය නිසා එරට ජන ජීවිතය දැඩි පීඩාවට පත්ව තිබේ. හමුදාමය ක්රියාමාර්ගයකින් තොරව රාජ්ය තාන්ත්රික එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බව ට්රම්ප් පාලනය ප්රකාශ කළ ද, කියුබාවේ පවතින කොමියුනිස්ට් පාලන ව්යුහය වෙනස් කිරීම සිය පරිපාලනයේ ප්රධාන අරමුණක් බව වොෂින්ටනය අවධාරණය කර සිටින අතර කියුබානු විදේශ අමාත්යංශය දන්වා සිටින්නේ ඕනෑම රාජ්ය තාන්ත්රික සාකච්ඡාවකට තමන් සූදානම් බවයි.
අමෙරිකාව විසින් වෙනිසියුලාවට එල්ල කළ පීඩනයෙන් අනතුරුව කියුබාව කෙරෙහි යොමු කර ඇති මෙම රාජ්ය තාන්ත්රික හා ආර්ථික බලපෑම, ඉදිරියේදී ලතින් අමෙරිකානු කලාපීය බලතුලනය කෙරෙහි තීරණාත්මක ලෙස බලපානු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. අමෙරිකානු රාජ්ය ලේකම්වරයාගේ යෝජිත කියුබානු සංචාරය සහ ඊට අදාළව සිදුවන රාජ්ය තාන්ත්රික එකඟතාවන් මඟින් ඉදිරි කාලයේදී කියුබාවේ ආර්ථික හා දේශපාලනික අනාගතය වෙනස් මඟකට යොමු වනු ඇත්ද යන්න කෙරෙහි ජාත්යන්තර ප්රජාව දැඩි විමසිල්ලෙන් පසුවේ.














