‘බූලෝ’ (Boelo) කුණාටුව හේතුවෙන් එක්සත් රාජධානියේ ප්රදේශ රැසකට තද සුළං, අධික වැසි සහ ගංවතුර අවදානම් ඇතුළු අයහපත් කාලගුණික තත්ත්වයන්ට මුහුණදීමට සිදුව තිබේ.
විදෙස් මාධ්ය වාර්තා අනුව, ස්කොට්ලන්තය, උතුරු එංගලන්තය සහ උතුරු අයර්ලන්තයේ ඇතැම් ප්රදේශ සඳහා තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඇතැම් වෙරළබඩ ප්රදේශවල සුළං වේගය පැයට සැතපුම් 80 ඉක්මවා යා හැකි බවට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබේ.
ස්කොට්ලන්තයේ ටයරි දූපතෙන් පැයට සැතපුම් 82ක පමණ උපරිම සුළං වේගයක් වාර්තා වී ඇති බව ද සඳහන් වේ.
තද සුළං සහ වැසි හේතුවෙන් විදුලි සැපයුමට, දුම්රිය හා ගුවන් ගමන්වලට මෙන්ම මාර්ග ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ. ගස් හා වෙනත් වස්තු කඩා වැටීමෙන් සහ මුහුදු රළ ඉහළ යාමෙන් ජීවිතවලට අනතුරු සිදුවිය හැකි බැවින්, අවදානම් ප්රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස බලධාරීන් උපදෙස් දී ඇත.
මෙම කුණාටුවට පෙර ‘ඔස්ටින්’ (Austen) කුණාටුව ද බ්රිතාන්යයේ ප්රදේශ කිහිපයකට බලපෑ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ද අඛණ්ඩව සිදු කෙරේ.
















