36 වැනි ජාතික යෞවන ක්රීඩා උළෙල ඔක්තෝබර් 30, 31 සහ නොවැම්බර් 1 යන දිනවල හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ජාතික තරුණ සේවා සභාව සහ ශ්රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන ක්රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඔක්තෝබර් 30 වැනිදා පස්වරු 3.00ට පැවැත්වේ. සමාප්ති උත්සවය නොවැම්බර් 1 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.
වයස අවුරුදු 15ත් 29ත් අතර තරුණ ක්රීඩක ක්රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සහ ඔවුන්ට ජාතික මට්ටමේ ක්රීඩා අවස්ථා ලබාදීම මෙම ක්රීඩා උළෙලේ ප්රධාන අරමුණයි.
ප්රාදේශීය සහ දිස්ත්රික් මට්ටමේ තරගවලින් ඉදිරියට පැමිණෙන ක්රීඩක ක්රීඩිකාවන්ට ජාතික මට්ටමේ දක්ෂතා ප්රදර්ශනය කිරීමට මෙහිදී අවස්ථාව හිමි වේ. මෙවර ක්රීඩා උළෙලට අදාළ කණ්ඩායම් ක්රීඩා සහ මැරතන් ඉසව් කිහිපයක් දැනටමත් අවසන් කර ඇති බව සංවිධායකයෝ සඳහන් කරති.
මෙවර තරගාවලියේ අතිශූරතම ක්රීඩකයාට සහ ක්රීඩිකාවට රුපියල් මිලියනය බැගින් පිරිනැමීමට නියමිත බව වාර්තා වේ. සමස්ත ශූරතාව දිනාගන්නා දිස්ත්රික්කයට රුපියල් 200,000ක් ද, අනුශූරතාවට රුපියල් 150,000ක් ද, තෙවැනි ස්ථානයට රුපියල් 100,000ක් ද පිරිනැමීමට සැලසුම් කර තිබේ.
ජාතික සහ ක්රීඩා උළෙලේ වාර්තා පිහිටුවන ක්රීඩක ක්රීඩිකාවන්ට ද මුදල් ත්යාග පිරිනැමීමට නියමිතය.












