නෙදර්ලන්තයේ තාක්ෂණික දැනුම සහ ඉන්දියාවේ මානව සම්පත්, නිෂ්පාදන හැකියාවන් හා ව්යවසායකත්වය ඒකාබද්ධ කරමින් දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා තවදුරටත් පුළුල් කළ යුතු බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්ය පියුෂ් ගෝයල් ප්රකාශ කර තිබේ.
ඇම්ස්ටර්ඩෑම්හි පැවති ඉන්දීය ප්රජාවගේ හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර, දෙරටේ ව්යාපාරිකයන් සහ වෘත්තිකයන් අතර ආයෝජන, පර්යේෂණ හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්යතාව ද අවධාරණය කර ඇත.
නෙදර්ලන්තයේ තාක්ෂණික වෘත්තිකයන්ට සහ අධ්යයන ක්ෂේත්රයේ ප්රමුඛයන්ට ඉන්දියාවේ පර්යේෂණාගාර, විශ්වවිද්යාල සහ නවෝත්පාදන ව්යාපාර සමඟ සම්බන්ධතා ගොඩනඟා ගන්නා ලෙස ද අමාත්යවරයා ආරාධනා කර තිබේ.
එමෙන්ම, නෙදර්ලන්තය සහ යුරෝපා සංගමය තුළ සිය ව්යාපාර පුළුල් කිරීමට අපේක්ෂා කරන ඉන්දියානු ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ට සහාය වන ලෙස වරලත් ගණකාධිකාරීවරුන්ගෙන් ඔහු ඉල්ලා ඇත. ඉන්දියාවේ ආයෝජනය කිරීමට නෙදර්ලන්ත සමාගම් දිරිමත් කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දී තිබේ.
යුරෝපීය වෙළෙඳපොළ වෙත ඉන්දියානු නිෂ්පාදන ගෙන යාමේදී නෙදර්ලන්තය ප්රවේශ මධ්යස්ථානයක් ලෙස භාවිත කළ හැකි බවත්, රොටර්ඩෑම් වරාය ඒ සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් අමාත්යවරයා සඳහන් කර ඇත.














