යුරෝපා පාර්ලිමේන්තුවේ අනුකමිටුව හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා කම්කරු අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් අවස්ථාවේ දී, නීලන් තිරුචෙල්වම් සංවිධානයේ සභාපති අම්බිකා සත්කුනනාදන් මහත්මිය ලබා දුන් ප්‍රකාශය ජනතාව අතර වෛරය ඇති කිරීම සඳහා වරක් එල්ටීටීඊ සංවිධානය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල නිරූපණය කෙරෙන බව විදේශ අමාත්‍යංශය පවසයි.
2022 ජනවාරි 27 වැනි දින යුරෝපා පාර්ලිමේන්තුවේ අනුකමිටුව හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා කම්කරු අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් අවස්ථාවේ දී, නීලන් තිරුචෙල්වම් සංවිධානයේ සභාපති අම්බිකා සත්කුනනාදන් මහත්මිය ලබා දුන් ප්‍රකාශයේ අඩංගු නොමඟ යවනසුළු ප්‍රකාශ රැසක් පිළිබඳව විදේශ අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සහ මානව හිමිකම් කවුන්සිලය සමඟ දිගුකාලීන සහයෝගිතාවයක නිරත වෙමින්, දේශීය ක්‍රියාවලීන් සහ ආයතන හරහා සිය වගවීම සහ ප්‍රතිසන්ධාන කටයුතු ඉටුකිරීම සම්බන්ධයෙන් පවත්නා කැපවීම ක්‍රියාවට නංවන මෙවැනි අවස්ථාවක දී, සත්කුනනාදන් මහත්මිය ඉදිරිපත් කළ මෙම ප්‍රකාශය හරහා ශ්‍රී ලංකා රජය විවිධ අංශ ඔස්සේ ලබා ඇති ප්‍රගතිය මුළුමනින්ම නොසලකා හැරීමකට ලක් වන අතර, එමගින් රජයේ අභිප්‍රාය සහ අවංකභාවය පිළිබඳව සැකයක් උද්ගත වේ.
සත්කුනනාදන් මහත්මිය ඉදිරිපත් කළ නිර්දේශ අතර, මානව හිමිකම් සම්බන්ධයෙන් රජයට බලපෑම් කිරීම සඳහා යුරෝපා සංගමය ජීඑස්පී+ සහනය භාවිතා කළ යුතු බවට ඉදිරිපත් කළ නිර්දේශය සම්බන්ධයෙන් මෙම අමාත්‍යංශය සිය කනගාටුව පළ කර සිටියි. විශේෂයෙන්ම දැනට පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සියලුම ප්‍රජාවන්ට අයත් මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපාය කෙරෙහි මේ වන විටත් බලපෑම් එල්ල වී ඇති අවස්ථාවක, යුරෝපා සංගමයේ ජීඑස්පී+ පහසුකම ශ්‍රී ලංකාවට අහිමි වුවහොත්, එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණ දීමට සිදුවන පාඩු හේතුවෙන් දරිද්‍රතාවය ඉහළ ගොස් ආදායම්වල අසමානතාවය උග්‍ර වනු ඇත. තවද, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදු කෙරෙන ප්‍රධාන කර්මාන්ත අතරට අයත් වන ධීවර කර්මාන්තයට හා කෘෂිකර්මාන්තයට මෙමගින් දැඩි බලපෑම් එල්ල වනු ඇත.
වාර්ගික ප්‍රජාවන්ට වෙනස් අයුරින් සැලකීම සම්බන්ධයෙන් එතුමියගේ ප්‍රකාශයේ අඩංගු පදනම් විරහිත චෝදනා මගින්, ජනතාව අතර වෛරය ඇති කිරීම සඳහා වරක් එල්ටීටීඊ සංවිධානය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල නිරූපණය කෙරෙන බවද මෙම අමාත්‍යංශය සඳහන් කරයි. ජාත්‍යන්තර ප්‍රජාව අතර ශ්‍රී ලංකාව පිළිබඳ අභූත චෝදනා පැතිරවීම වැළැක්වීම මෙන්ම, රට තුළ සමාජ සංහිඳියාව ඇති කිරීම සඳහා, බහු වාර්ගික සහ බහු ආගමික රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෙවැනි චෝදනා ප්‍රතික්ෂේප කළ යුතු ය.
‘විපාක නොලබන සංස්කෘතියක්’ පිළිබඳව සත්කුනනාදන් මහත්මිය සිදු කළ ප්‍රකාශය මෙම අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ මෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ දීර්ඝ කාලීන සහයෝගීතාවක නිරතව සිටින බවද මෙම අමාත්‍යංශය දන්වා සිටියි. වගවීම සහ ප්‍රතිසන්ධාන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවත්නා වගකීම, ශ්‍රී ලංකාව විසින් දේශීය යාන්ත්‍රණ සහ ආයතන හරහා ඉටු කරනු ලැබේ. උද්ගතවී ඇති විවිධ ගැටළු විසඳීම සඳහා ශ්‍රී ලංකා රජය UNHRC හි විශ්වීය වාරික සමාලෝචන සහ විශේෂ ක්‍රියා පටිපාටි ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සක්‍රීයව සම්බන්ධ කරගනි යි. ක්‍රමානුකූලව වධහිංසා පැමිණවීම පිළිබඳ චෝදනා ද මීට ඇතුළත් වේ. නීතියේ ආධිපත්‍යය, යුක්තිය පසිඳළීමේ ප්‍රවේශය සහ වගවීම පිළිබඳ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අතිරේක ප්‍රතිසංස්කරණ සිදු කරන බවද රජය පැහැදිලි කොට ඇත. යෝජනා සම්බන්ධයෙන් සාධනීය සාකච්ඡාවක් පැවැත්වීමටත්, අඩුලුහුඬුකම් සපුරාලීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් ශ්‍රී ලංකා රජය විවෘතව සිටියි.
ශ්‍රී ලංකා රජය ‘සිංහල බෞද්ධ ජාතිකවාදය’ සහ ‘මිලිටරිකරණය’ මෙහෙයවන බව, සත්කුනනාදන් මහත්මිය ප්‍රකාශ කොට ඇති බව මෙම අමාත්‍යංශය දන්වා සිටියි. සුළු ජාතීන්ට වෙනස් කොට සැලකීම පිළිබඳ නිශ්චිත සාක්ෂි නොමැති තතු පාදක කරගන්නා ඇය, වාර්ගික පැතිකඩ පිළිබඳ අපැහැදිලි ප්‍රකාශ ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාව සියලුම ජාතීන් වෙසෙන රටක් බවත්, එතුළ කිසිදු ආගමික හෝ වාර්ගික භේදයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සියලුම පුරවැසියන්ට සමාන අයුරින් මූලික අයිතිවාසිකම් ලබා දී ඇති බවත්, ඊට ප්‍රතිචාර වශයෙන් මෙම අමාත්‍යංශය දන්වා සිටියි. තවද, වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය යනාදී පොදු සේවාවන් ලබාගැනීම සඳහා ජනතාවට ඇති අවකාශය ශ්‍රී ලංකා රජය සහතික කොට ඇත. එමෙන්ම, උතුරු හා නැගෙනහිර පළාත්වල විශාල ප්‍රදේශ එල්ටීටීඊ පාලනය යටතේ පැවති සමයේ සිදු වූ සන්නද්ධ ගැටුම් හමුවේ පවා, ප්‍රධාන වශයෙන් එම ප්‍රදේශවල දමිළ සහ මුස්ලිම් ජන කොට්ඨාශවලට අයත් සිවිල් ජනතාවට බලපෑමක් එල්ල නොවන පරිදි, මෙවැනි මහජන සේවා සැපයීම රජය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරිණි.
පුරාවිද්‍යාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ඉඩම් කොල්ලකෑම සහ සුළුතර ප්‍රජාව අධික ලෙස ජීවත් වන ප්‍රදේශවල ජනව්‍යාප්තියට අදාළ කරුණු වෙනස් කිරීම සඳහා යොදාගන්නා මෙවලමක් බවට චෝදනා කරන සත්කුනනාදන් මහත්මිය, “එකම රටක් එකම නීතියක්” පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ජනවර්ග අතර වෛරය සහ ප්‍රචණ්ඩත්වය අවුළුවන බවත් පෙන්වා දෙයි. යුද්ධය නිමා වීම හේතුවෙන් අවතැන් වූ පිරිස් උතුරු සහ නැගෙනහිර පළාත්වලට නැවත පැමිණීමත් සමඟම, ඔවුන් මෙම වනාන්තර ප්‍රදේශවලට අනවසරයෙන් ඇතුළු වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත. මෙම හේතුවෙන් පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශයට පත්ව ඇත. එබැවින් මෙම ස්ථාන ආරක්ෂා කිරීම සඳහා දැඩි පියවර ගැනීමේ හදිසි අවශ්‍යතාවත් පවතී. පුරාවිද්‍යාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ඉඩම් කොල්ලකෑමේ මාර්ගයක් බවට පත්වී මෙම ප්‍රදේශවලට සිංහල ප්‍රජාව හඳුන්වා දෙන බව සඳහන්ව ඇති ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැත. මෙම කාර්ය සාධක බලකාය තුළ සියලුම ජනවර්ගවලට අයත් ප්‍රජාව නියෝජනය වන බව සඳහන් කළ යුතු ය. “එකම රටක් එකම නීතියක්” පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් උපදේශන කටයුතු පමණක් ඉටු කිරීමට අපේක්ෂිත බව සඳහන් කළ යුතු ය. මෙම කාර්ය සාධක බලකායේ නිර්දේශ ප්‍රජාතාන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුකූලව පළමුව අධිකරණ අමාත්‍යංශයේ අධ්‍යයනය පිණිස වෙත යොමු කෙරෙන අතර, ඉන් පසුව අමාත්‍ය මණ්ඩලය සහ අවසානයේ දී පාර්ලිමේන්තුව වෙත යොමු කෙරෙනු ඇත.
හමුදාව උතුරු සහ නැගෙනහිර පළාත් ‘නතු කරගෙන සිටින’ බවට ඇය චෝදනා කරයි. 2009 වසරේ දී යුධ ගැටුම් නිමාවට පත් වීමත් සමඟම, හමුදාව යටතේ පැවති පෞද්ගලික ඉඩම්වලින් බහුතරයක් (92% කට අධික ප්‍රමාණයක්) නීත්‍යානුකූල ඉඩම් හිමි සිවිල් වැසියන්ට මේ වන විට ලබා දී ඇත. ඉතිරි පෞද්ගලික ඉඩම් මුදාහැරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ යාන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
‘සිවිල් අවකාශය’ සීමා කෙරෙමින් පවතින බවටත්, ශ්‍රී ලංකා රජය සිවිල් සමාජ සංවිධානවල ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා අවිධිමත් හා නීති විරෝධී ක්‍රියාවලීන් භාවිතා කරන බවටත් සත්කුනනාදන් මහත්මිය පළ කරන චෝදනා ඉතා කනගාටුදායක ය. ශ්‍රී ලංකා රජය රාජ්‍ය නොවන සංවිධාන සිය හවුල්කරුවන් වශයෙන් මිස විරුද්ධවාදීන් වශයෙන් නොසලකන බව මෙම අමාත්‍යංශය අවධාරණය කර සිටියි. ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලයේ (ONUR) සහ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන කවුන්සිලයේ කටයුතු සඳහා සිවිල් සමාජ සංවිධාන විසින් සපයන ලද ඵලදායී දායකත්වය රජයේ ඇගයීමට ලක් වේ. රාජ්‍ය නොවන සංවිධානවල ලේකම් කාර්යාලය විදේශ අමාත්‍යංශය යටතට ගෙන ඒම ආදී වශයෙන් රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු පහසු කිරීම සඳහා යම් යම් ප්‍රතිපත්තිමය වෙනස්කම් ද රජය විසින් හඳුන්වා දෙන ලදී. විශේෂයෙන්ම පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ජාතික ආරක්ෂාව වෙනුවෙන් සාමාන්‍ය ආරක්‍ෂක සේවා ජාල ක්‍රියාත්මක කිරීම හැර, රටේ කිසිදු නිශ්චිත පිරිසක් නිරීක්‍ෂණය කිරීම හෝ ඉලක්ක කිරීම අරමුණු කරගනිමින් ආරක්‍ෂක අංශ සහ බුද්ධි අංශ කටයුතු නොකරන බව යළිදු අවධාරණය කළ යුතු ය.
“යුද්ධය සහ මත්ද්‍රව්‍ය” යන්නට මුවා වී ශ්‍රී ලංකා රජය සිදු කරන අධිකරණයට පරිබාහිර ඝාතන සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව සත්කුනනාදන් මහත්මිය ඉදිරිපත් කළ ප්‍රකාශ මෙම අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි. මේ වන විට රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරමින් සිටින බවත්, මේ වන විට එහි අවසන් අදියරේ කටයුතු සිදුවෙමින් පවතින අතර එම ක්‍රියාවලිය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කෙරෙමින් සිටින බවත් සඳහන් කළ යුතු ය.
“ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිටින රාජ්‍යයන්ගේ ප්‍රයත්න යටපත් කිරීම” සඳහා ශ්‍රී ලංකා රජය චීනය සමඟ ඇති මිත්‍රත්වය අයුතු ආකාරයෙන් භාවිතා කරන බවට ද, සත්කුනනාදන් මහත්මිය චෝදනා කරයි. එහෙත්, අපගේ ප්‍රධානතම විදේශ ප්‍රතිපත්තිය බවට පත්ව ඇත්තේ ඉන්දු-පැසිෆික් කලාපය තුළ ඉහළ යමින් පවතින උපායමාර්ගික තරඟකාරිත්වය සැලකිල්ලට ගනිමින්, නිදහසින් පසුව අප අනුගමනය කළ නොබැඳි විදේශ ප්‍රතිපත්තියට අනුකූලව මධ්‍යස්ථභාවයක් පවත්වා ගැනීම යි. ජාතික යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් පවත්නා අඩුලුහුඬුකම් පූර්ණය කිරීම සඳහා චීනය හැරුණු විට ඉන්දියාව සහ ජපානය වැනි රටවල් කිහිපයක් සමඟ ද ශ්‍රී ලංකාව හවුල්කාරිත්වයකට එළඹ ඇති බව මෙම අමාත්‍යංශය දන්වා සිටියි. දේශීය ක්‍රියාවලීන් සහ ආයතන හරහා වගවීම සහ ප්‍රතිසන්ධාන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවත්නා බැඳීම කෙරෙහි එවැනි හවුල්කාරිත්වයන් මගින් කිසිදු බලපෑමක් එල්ල නොවේ.