• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙනවා – ජනපති

9 August 2022
in දේශීය

විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා කළ ප්‍රචණ්ඩකාරීන් මැඩපවත්වා ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පැලවත්ත, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ අද (09) පෙරවරුවේ විශේෂ නිල චාරිකාවකට එක් වෙමින් එහිදී හමුදා සාමාජිකයන් අමතමින් මේ බව සඳහන් කළේය.

එදා ප්‍රචණ්ඩකාරී පිරිස් පාර්ලිමේන්තුවට ඇතුළු වී ව්‍යවස්ථාදායකය අක්‍රීය කළා නම් රටේ ආණ්ඩුවක් නැති වන බවත්, එසේ වූයේ නම් අද රට තුළ ඇති තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් බවත් ජනාධිපතිවරයා පැවසීය. එම මෙහෙයුම කිසිදු පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල නොකොට සාමකාමිව සිදු කිරීමට පියවර ගත් ආරක්ෂක අංශ සාමාජිකයන්ට තම ස්තූතිය පළ කර සිටින බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අද මෙම විශේෂ උත්සවය සංවිධානය කළේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම ගැන අපේ ස්තූතිය ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරන්න. මෙහි වැදගත්කම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන් බලාපොරොත්තු වුණේ මේ පිළිබඳ කරුණු කිහිපයක් සඳහන් කරන්න. ඔබේ ප්‍රධාන යුතුකම තමයි මේ රට ආරක්ෂා කරන්නත් මේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නත් කටයුතු කරන එක. ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න ප්‍රධාන ආයතන 03ක් තිබෙනවා. පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය. මේ ආයතන 03 ක්‍රියාත්මක නොකෙරුවොත් මේ රටේ පාලනයක් නැති වෙනවා. ව්‍යවස්ථාව කඩා වැටෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. එවැනි අවස්ථාවක තමයි ඔබ පාර්ලිමේන්තුව ආරක්ෂා කළේ. සිද්ධි ගැන කතා කරනවා නම් ජූලි 09 වනදා එවකට ජනාධිපතිතුමා හිටපු මන්දිරය ප්‍රචණ්ඩකාරීන් අත්පත් කරගත්තා; පස්සේ ජනාධිපතිතුමාගේ විධායක බලය යොදවන කාර්යාලය, ජනාධිපති කාර්යාලය අත්පත් කර ගත්තා. ජනාධිපතිතුමාට ක්‍රියාත්මක කරන්න කිසිම ආයතනයක් තිබුනේ නැහැ. සවස් වෙන කොට අගමැතිතුමාගේ නිල නිවස වන “අරලියගහ මන්දිරයත්” අත්පත් කරගත්තා. එම කාර්යාලයේ කටයුතුත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. එවකට හිටපු ජනාධිපතිතුමා එම අවස්ථාවේ කොළඹ නගරය තුළ හිටපු නැති නිසා, එතුමා ඉන්න තැන දන්නේ නැති නිසා, මම ඉල්ලා අස්වෙයි කියන බලාපොරොත්තුවෙන් මගේ නිවසට ගිනි තැබුවා. නමුත් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ අගමැති කාර්යාලයක් පමණක් ඉතිරි වෙලා තිබුණා.

13 වනදා යළිත් පැමිණිලා අගමැති කාර්යාලයත් අත්පත් කර ගත්තා. එතකොට විධායකයට ක්‍රියාත්මක කරන්න කිසිම කාර්යාලයක් නැහැ. එවකට ජනාධිපතිතුමා හිටපු ජනාධිපති මන්දිරයත් නැති වෙලා. විධායකය හැටියට ක්‍රියාත්මක කරන්න කිසිම ස්ථානයක් තිබුණේ නැහැ. සවස් වන විට තත්ත්වය තවත් වෙනස් වුණා. පාර්ලිමේන්තුව වට කරන්න උත්සාහ කළා. පාර්ලිමේන්තුව අල්ල ගත්තනම් ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කරන්න බැහැ. ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කරන්න බැරිනම් රටේ ආණ්ඩුවක් නැහැ.
අධිකරණය වට කරලා අධිකරණය නවත්වන එක පහසු කාර්යයක්. අනිත් ආයතන දෙක වගේ නෙවේ. පාර්ලිමේන්තුව නැති වුණා නම් විශාල ප්‍රශ්නයක් වෙනවා. එදා පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වුණා. කථානායකතුමා දන්නවා, මේ කණ්ඩායම එනවා කියලා දැනගත්තහම පක්ෂ නායකයින්ගේ රැස්වීමත් අවසන් කළා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කවුරුත් හිටියේ නැහැ. පාර්ලිමේන්තුව වැටුණා නම් ආණ්ඩුක්‍රමය නැති වෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානීන්ට විශේෂයෙන් ශවේන්ද්‍ර සිල්වාටත්, හමුදාපති ලුතිතන් ජෙනරල් ලියනගේ මහතාටත් මම කිව්වා පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දෙන්න කියලා. පාර්ලිමේන්තුව නැති වුණා නම් පාලනයක් නැති වෙනවා. පාර්ලිමේන්තුව නැති නිසා ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා තමයි ඔබ සියලුදෙනාට භාර දුන්නේ ඒ කටයුත්ත කරන්න.
ඒ අනුව පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට පැමිණි පිරිස්වලට වෙඩි තියන්න වුවමනාවක් වුණේ නැහැ. ඒ ගැන මම ඔබ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා, ප්‍රශංසා කරනවා. ඔබේ කිහිප දෙනෙක් තුවාල ලැබුවා. ආරක්ෂාව තිබෙන නිසා රටේ තත්ත්වය ඊළග දවසේ වෙනස් වුණා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරගත්තේ නැතිනම් මේ තත්ත්වය අද රටේ නැහැ.
මේක, උතුරේ දැක්ක විශාල සටන් වගේ නෙවේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔබ ගත්ත පියවරක්. එදා ත්‍රස්තවාදය නැති කළා වගේ ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. මේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ආරක්ෂා කරලා පාර්ලිමේන්තුව රැස් වෙන්න ඉඩ ලබා දී ව්‍යවස්ථානුකූල යුතුකම ඉෂ්ට කර තිබෙනවා. එමගින් රටත් ආරක්ෂා කරලා තිබෙනවා. දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන යෑමයි. පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන ගොස්, ජනතා විශ්වාසය දිනා ගන්න එක මන්ත්‍රීවරු කරන්න ඕන. ඔබේ පියවර දැන් අවසන්. පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකට එකතුවෙලා ප්‍රශ්නය විසඳන්න ක්‍රියාකළ යුතුයි.

අලුත් ව්‍යවස්ථා සංශෝධන ගේන්න අපි උත්සාහ කරමින් සිටිනවා. අලුත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ යෝජනා ගෙනවිත් සර්ව පාක්ෂික පාලනයක් ඇති කරන්න අපි පියවර ගනිමින් සිටිනවා. ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා, දැන් ඔබේ යුතුකම ඉෂ්ට කරන්න. දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න ඕන. මම අගමැතිතුමාටත්, කතානායකතුමාටත් කියනවා කරුණාකරලා ඒක පාර්ලිමේන්තුවට සිහිපත් කරන්න කියලා. මේ කැපවීමෙන් ප්‍රයෝජන ගන්න නම් ඔක්කොම එකතුවෙලා පාර්ලිමේන්තුව යළි රට වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න ඕනෑ.

ඔබ සියලු දෙනාටම ස්තුති කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා. රට වෙනුවෙන්, පාර්ලිමේන්තුව වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් ස්තූති කරනවා. මොකද මේ පියවර ගත්ත නිසා දැන් රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න අපට පුළුවන්. ජීවන වියදම වැඩි වෙලා, ගමන් බිමන් සීමා වෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපි පියවර ගනිමින් සිටිනවා.

ලබන අවුරුද්ද වෙනකොට රටේ ස්ථාවරභාවයක් ඇති කරන්න නම් ඒක කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඔබ එය ආරක්ෂා කරන්න වැඩකටයුතු කරලා තිබෙනවා. පාර්ලිමේන්තුවට වැඩ කරන්න ඉඩ දීලා තිබෙනවා.
විශේෂයෙන්ම ඔබ සියලුදෙනාම ගුවන් සංක්‍රමණික බල සේනාවට අයිති අය. ඒ ගැනත් මම වචන ස්වල්පයක් කතා කරන්න ඕන. මොකද එය අපේ රටේ තිබෙන ප්‍රධාන ඒකකයක් හැටියට තමයි සලකන්නේ.

එදා 1992, 93 වර්ෂයේ මෙම බල සේනාව ඇති කරන්න ඕන කියලා අපි සාකච්ඡා කළා. එම වකවානුවේම මම ඔක්තෝබර් මාසයේ ලන්ඩන් නුවරට ගියා. ලන්ඩන් නුවරදී ජෙනරල් මයිකල් රෝස් මට හමු වුණා. එතුමාව මට හඳුන්වලා දුන්නේ ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව. ඒ සමග ජෙනරල් රණතුංග, ජෙනරල් ආටිගල හිටියා. එතුමා එතනදි කිව්වා මෙහෙම ඒකකයක් ආරම්භ කරන්න කියලා. එවකට යුද හමුදාපති වෛද්‍යරත්න මැතිතුමාට ඒ වැඩකටයුතු පවරලා ඊට පස්සේ ජෙනරාල් ජෙරී සිල්වා බලකාය ආරම්භ කරලා මේ වැඩකටයුතු හොදට ඉදිරියට ගෙන ගියා. එදා ආරම්භ කරපු දේ ඉදිරියට ගෙන යාම ගැන අපි විශේෂයෙන්ම සතුටු වෙනවා. යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 16
Previous Post

ග්‍රාම ශක්ති නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කඩිනම් කරන්න- ඇමැති ප්‍රසන්න

Next Post

කාන්තාවන්ට ජාත්‍යන්තර වේලාවන් අනුව සේවය කිරීමට තිබූ නෛතික බාධා ඉවත් කෙරේ – ඇමැති මනූෂ

editor

editor

Next Post

කාන්තාවන්ට ජාත්‍යන්තර වේලාවන් අනුව සේවය කිරීමට තිබූ නෛතික බාධා ඉවත් කෙරේ - ඇමැති මනූෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved