ධීවරයාට මෙන්ම පාරිභෝගිකයා ද ආකර්ෂණය වන ලෙස ධීවර වරායන් පවත්වා ගත යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ දකුණේ විශාලතම ධීවර වරායක් ලෙස සැලකෙන කුඩාවැල්ල ධීවර වරායේ පවතින තත්වය පිළිබඳව වරාය සංවර්ධන කමිටු නිරීක්ෂණය කිරීමට එක්වෙමිනි.
මෙහිදී වරාය සංවර්ධන කමිටුව , පවසා සිටියේ දෛනික ධීවර කාර්මිකයන් හා පාරිභෝගික ජනතාව විශාල වශයෙන් පරිහරණය කරන කුඩාවැල්ල ධීවර වරාය ඉතාමත් අපිරිසිදු බවත් , තැන තැන පවතින මත්ස්‍ය සෝදන වතුර නිසා අධික දුර්ගන්ධයක් හමන අතරම කිසිවකුහට වරායේ ඇවිදීමට පවා නොහැකි වන ආකාරයට අබලන් වී ඇති බවත් , වතුර , විදුලි ආලෝකය මෙන්ම සනීපාරක්ෂක පහසුකම් ද නොමැති අතර ඒ කෙරෙහි අවධානය යොමුකර වරායේ නඩත්තු කටයුතු කරදෙන ලෙසත් ධීවර කර්මාන්තය මගින් රටට ගලා එන විදේශ විනිමය උපදවා ගැනීමේදී වරායන් වල පිරිසිදු භාවය ඉතාමත් වටින කාරණයක් බවත් එම කටයුතු ඉටුකර දෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලදී.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ දකුණේ බොහෝ වරායන් වර්තමානය වන විට ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය මතුව ඇති බවත් ඒ සඳහා රටේ පවතින ආර්ථික තත්ත්වය තුළ මෙම කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට ඇති අල්ප ප්‍රමාණය හෝ සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී මෙම වරාය පරිශ්‍රය කාපට් අතුරා සකස් කිරීමටත්, අවශ්‍ය ජලය සැපයීමටත් පියවර ගන්නා අතරම විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන සෝලා පවර් හඳුන්වා දීමට තමන් දැනටමත් සාකච්ඡා කරගෙන යන අතරම විශේෂයෙන් වරායන්හි පවිත්‍රතාවය සහ එය ආරක්ෂා කර ගැනීමේ කාර්යය ධීවරයන් මෙන්ම වරාය පරිහරණය කරන පාරිභෝගිකයින්ගේ ද යුතුකම බවත්, නීති රීති යොදා ගනිමින් එය සිදු කිරීමට අවශ්‍ය නොවන බව තමන් විශ්වාස කරන අතර ජනතාවට ගුණාත්මක බවින් යුතු මාළු ලබාදීම අප කාගේත් වගකීම හා යුතුකම වන අතර ඒ සඳහා ධීවර අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බවද පැවසීය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය , ධීවර වරාය නීතිගත සංස්ථාවේ කළමණාකාර තුමා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.