ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල්වල ඇති අවධානම් ගොඩනැගිලි සහ අවධානම් ගස් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (11) පැවැති ගම්පහ අධ්‍යාපන ව්‍යුහ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.
ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙහිදී සදහන් කලේ එවැනි පාසල් හදුනාගැනීමෙන් අනතුරුව ලබන වසර ආරම්භ වනවිට එම පාසල් ප්‍රමුඛතාව මත පදනම්ව සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.
ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 21 ක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිර්මාණය කළ සංවර්ධන සැලසුම් විදුහල්පතිවරුන්ට පිළිගැන්වීම මෙහිදී සිදු කෙරිණ.
මෙම පාසල් සංවර්ධන සැලසුම් නිර්මාණය කර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් ඉංජිනේරුවරුන් හා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මැදිහත්වීමෙනි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 35 ක් සඳහා ද මේවන විට මෙලෙස පාසල් සංවර්ධන සැලසුම් සකස් කර තිබේ.
මෙහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා “මම බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කරද්දි අධ්‍යාපන ඇමතිවරයා ලෙසත් කටයුතු කරන්න ලැබුනා. අපි සාර්ථක ව්‍යාපෘති රැසක් ඒ කාලේ ක්‍රියාත්මක කළා. මේ පාසල්වලට නිශ්චිත සංවර්ධන සැලසුමක් තිබුනේ නැහැ. ඒ නිසා අපි අපේ අමාත්‍යංශය යටතේ තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය සම්බන්ධ කර ගනිමින් මිනුවන්ගොඩ පාසල්වලට සංවර්ධන සැලසුමක් සකස් කළා. ඒ සදහා විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් යහපත් ප්‍රතිචාර තිබෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ සැලසුමක් හදන්න රුපියල් ලක්ෂ 5 ක් පමණ යනවා. ඒ නිසයි අපි මේ සදහා නාගරික සංවර්ධන අධිකාරිය සම්බන්ධ කර ගත්තේ. ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 48 ක් තියෙනවා. අපි මේ සැලසුම් සකස් කරලා තියෙන්නේ දැනට පාසල් 21 කටයි. ගම්පහ අනෙක් පාසල්වලටත් කඩිනමින් මෙම සැලසුම් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ලබන වසරේ පාසල්වල සංවර්ධන කටයුතු සිදු කරන විට නාගරික සංවර්ධන අධිකාරිය විසින් හදපු සැලසුම් පාදක කර ගනිමින් එය සිදු කළ යුතුයි. එවිට පාසල්වලට ලැබෙන මුදල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේම මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ “අපේ පාසල – අපේ දෑතින් සුරකිමු” ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවා. ඒ යටතේ මිනුවන්ගොඩ පාසල් 17 කට වර්ණාලේප කටයුතු හා සුළු අළුත්වැඩියා කටයුතු සඳහා අපි මුදල් ලබා දුන්නා. එම ව්‍යාපෘතිය ගම්පහ කලාපය තුළත් ආරම්භ කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා” යනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සඳහා සූර්ය පැනල සවි කිරීමේ වැඩසටහනක් ද ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතය. එම ව්‍යාපෘතිය මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයෙන් ආරම්භ කෙරේ. එය ගම්පහ අධ්‍යාපන කොට්ඨාශය තුළ ද ආරම්භ කිරීමට නියමිතයි.
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන, බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජයරත්න, ගම්පහ කලාප අධ්‍යාපන අධ්යක්ෂ අනුර ප්‍රේමලාල්, ගම්පහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රියන්ති නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (ව්‍යාපෘති) එන්. ඒ. එස්. එන්. නිශ්ශංක යන මහත්ම මහත්මීන්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ගම්පහ කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.