27 April 2024
#දේශීය

සබරගමුව වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට ගිවිසුම්ගත වේ

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන අවසන් වසර සිසුන්ගේ සායනික පුහුණූ ලබා දීම සදහා ඊට අදාල ගිවිසුම්ගත වීම පසුගියදා සිදු වු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම අන‌යෝන්‍ය අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන් රණසිංහ යන මහත්වරුන් විසින් සිදු කෙරිණි. ‍

වෛද්‍ය සිසුන් හට සායනික පුහුණුවීම් ලබාදෙන විට ඊට අදාල ප්‍රමිතීන් පිලිබදව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්ණායක වලට අනුකූල විය යුතු අතර ඊට අදාල මහාචාර්ය ඒකකය ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය එකඟතාවය පල කෙරිණි. ‍

වෛද්‍ය සභාවත්, සෞඛ්‍ය අමාත්‍යංශයත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවත්, සබරගමුව විශ්ව විද්‍යාලයත් එකතු වී සාකච්ජා කර එකඟතාවයන්ට අනුව වෛද්‍ය සභාවේ ප්‍රමිතීන්ට අනුව පුහුණූව ලබා දීම සදහා මෙම ගිවිසුම්ගත වීම සිදුවිය.

මීට පෙර අවස්ථාවකදී සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රත්නපුර ශික්ෂණ රෝහලට පැමිණ රෝහල් අධ්‍යක්ෂතුමා, විශේෂඥ වෛද්‍යවරුන්, සබරගමුව විශ්ව විද්‍යාලයේ හා වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් හා ආචාර්යවරුන් සමඟ සාකච්ජා කර මෙම සායනික පුහුණුව කඩිනම් කරමින් ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කලේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම්වරුන් වන සුනිල් ගලගම (සංවර්ධන), විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් (වෛද්‍ය සේවා), විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ වැඩබලන සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත, සබරගමුව විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපතිතුමිය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිර්මානි අමරසිංහ, වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිර්මලී වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් ද, වෛද්‍ය සභාව නියෝජන්‍ය කරමින් නියෝජිතයින් හා විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළුව පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *