වයස්ගත වීම අඩු කිරීමට, තරුණ බව පවත්වා ගැනීමට ලස්සන වීමට සූවිශේෂී ප්‍රතිකාර ක්‍රම පවතින බව ඔබ අප අසා ඇතුවාට සැකයක් නොමැත. ජීව විද්‍යාත්මකව වයසට යාම මන්දගාමී කිරීමට හැකියාව ඇති ක්‍රමවේදයන් ලෙස ජීවන රටාව වෙනස් කිරීම, ඖෂධ (විටමින් ඩී සහ ඔමේගා 3 වැනි සමහර ඖෂධ), කාන්තාවන් සඳහා හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සාව වැනි ක්‍රමවේදයන් ගැඹුරින් සාකච්ඡාවට බඳුන්වන අතර ශ්‍රී ලංකාව තුළ මේ දක්වා කතාබහට ලක් නොවන මාතෘකාවක් වුවද අපට අසල්වැසි රාජ්‍යයන් තුළ පවා සහ සමහර ප්‍රචලිත පුද්ගලයන් තම සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වා ගැනීම උදෙසා භාවිතා කරන නවීන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස අධිපීඩන අම්ලකර ප්‍රතිකාර (Hyperbaric Oxygen Therapy -HBOT) ක්‍රමය හඳුන්වා දෙන්න පුළුවන්. මෙම ප්‍රතිකාර ක්‍රමය තුළින් නිරෝගී පුද්ගලයකුට තම ශරීරයේ පෙනුම, තරුණ බව රැක දීමට, වයස්ගත වීම අඩුකර ගැනීමට යොදා ගැනීමට පුළුවන්. විශේෂයෙන්ම වෙනත් රටවල කලාකරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිරූපණ ශිල්පීන්, රූප රැජිණ වැනි තරග සඳහා ඉදිරිපත් වන අය මෙම ක්‍රමවේදය භාවිතා කරයි. ඒවගේම රෝගීන් උදෙසා කල්ගත වූ තුවාල, ආතරයිටීස්, මිග්‍රේන් හිසරදය වැනි රෝග සුව කිරීමටත් යොදාගත හැක. ඇමරිකානු FDA රෝග දාහතරක් සඳහා ප්‍රතිකාර කිරීමට අනුමැතිය ලබා දී ඇත.
අධිපීඩන අම්ලකර ප්‍රතිකාර ක්‍රමය නොහොත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව මගින් සිදු කරනු ලබන්නේ පීඩනය වැඩිකරන ලද කුටීරයක් තුළ 100% ඔක්සිජන් ස්වසනය කිරීමට ඉඩ සැලැස්වීමයි. සාමාන්‍ය වායු ගෝලීය පීඩනය මෙන් 2.5-3 අතර පීඩනයක් ලබාදෙන අතර අවශ්‍ය නම් දසගුණයක පීඩනයක් දක්වා කුටීර පීඩනයට ලක් කර හැක. එමගින් සාමාන්‍ය පරිසර තත්ත්ව තුළදී ලබා ගන්නා ඔක්සිජන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක ඔක්සිජන් ප්‍රමාණයක් ශරීරයේ පටක තුළට ලබාදීමට හැකිවෙනවා. සාමාන්‍යයෙන් රතු රුධිරානු තුළ දියවන ඔක්සිජන් ප්‍රමාණය මෙන් දස ගුණයක් ද ඊට අමතරව රුධිරයේ තරල තුළද ඔක්සිජන් ද්‍රවණය වී වැඩි ප්‍රමාණයක ඔක්සිජන් සෛල හා පටක තුළට ලබාදීමට හැකිවෙනවා. මෙය අප සාමාන්‍ය පීඩනයක් යටතේ සිට අඩු පීඩන කලාපයක් පවතින ගුවන තුළට පීඩනයට ලක් කරන ලද ගුවන් යානයකින් ගමන් කරනවා වගේ දෙයක්. ඔක්සිජන් සැපයුම අඩුවීම නිසා ඇතිවී ඇති රෝග වලට ප්‍රතිකාර කිරීමට හැකිවෙනවා. මේ හරහා පටක සුව කිරීම, විෂබීජ හා රෝග කාරක සමග සටන් කිරීමට, ශරීරීය පරිවෘත්තීය ක්‍රියා හොඳ මට්ටමකට ගෙන යැමට, සෛල හා පටක වර්ධනය දිරිගැන්වීමත් සිදුවෙනවා. අමතර ඔක්සියන් ප්‍රමාණයක් ශරීරයට ලැබෙන නිසා කොලජන් සහ එලස්ටික් වර්ධනය වැඩි වෙනවා, ප්‍රදාහයන් අඩු වෙනවා, සම වර්ධනය සහ නව රුධිරවාහිනී වර්ධනය සිදුවෙනවා, සමෙ නම්‍යතාවය වැඩිදියුණු වීම තුළින් රැලි අඩුවී තරුණ පෙනුම තියුණු කරනවා. සම සුදුවිම් සිදු වෙනවා. වර්ණදේහවල දිග අඩු වීම (ටෙලමියර්) තුළින් ජීව විද්‍යාත්මක සෛලීය වයසට යෑම මන්දගාමී කිරීම සිදුවන බව පර්යේෂණ මගින් පෙනී යමින් පවතී. තවමත් සාම්ප්‍රදායික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සමඟ වයසට යෑම අඩුවීම සම්බන්ධව නිර්ණායක සකස් වෙමිනුයි පවතින්නේ.
ප්‍රධාන වශයෙන් මෙවැනි කුටීර ප්‍රධාන වර්ග දෙකක් පවතිනවා. Monoplace කුටීරයක එක වරකට එක පුද්ගලයෙකුට ප්‍රතිකාර සිදු කරන්න පුළුවන්. Multiplace කුටීරයක් තුල කිහිප දෙනෙකුට එකවර ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන්. හයිපර්බරික් ඔක්සිජන් චිකිත්සාව (HBOT) 1662 දී ආරම්භ වූ අතර එය බ්‍රිතාන්‍ය පූජක නතානියෙල් හෙන්ෂෝ විසින් “ඩොමිසිලියම්” ඉදි කරන ලදී. එය වායු පීඩනය වෙනස් කිරීම සඳහා සීනු භාවිතා කරන මුද්‍රා තැබූ කුටියක් වන අතර සෞඛ්‍ය බලපෑම් නිරීක්ෂණය කරන ලදී. මෙය ඔක්සිජන් සොයා ගැනීමට පෙර සිදු විය. 19 වන සියවසේ ප්‍රංශ වෛද්‍යවරුන් පෙනහළු ගැටළු සඳහා සම්පීඩිත වාතය භාවිතා කරිමට දියුණු කරන ලදී. පසුව 20 වන සියවසේ මැද භාගයේදී පෝල් බර්ට් සහ බෙන්කේ වැනි පුද්ගලයින් විසින් පීඩනය යටතේ ඉහළ වායු සාන්ද්‍රණයක් ලබා දීමෙන් විවිධ තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීන HBOT සංවර්ධනය කරන ලදී.
මෙය අපහසු ක්‍රමවේදයක්ද ?
ඇත්තෙන්ම නැහැ. ආරක්ෂිත ක්‍රමවේදයක්. කුටිය තුළට වී සැහැල්ලුවෙන් කාලය ගත කරන්න පුළුවන්. පොතක් පතක් වගේ දෙයක් කියවන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් එක දිනක එක වාරයක් පැයක සිට පැය දෙකක් අතර කාල සීමාවක්. රෝගී තත්ත්වය අනුව වාර ගණන හයේ සිට දහය හෝ ඊට වැඩි වාර ගණනක් සතියට වරක් හෝ කිහිපවරක් ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙන්න පුළුවන්. කල්ගත වූ තුවාල වලට වාර ගණන ඊට වඩා වැඩි වෙන්න පුළුවන්.
ප්‍රතිකාර කළ හැකි රෝග
1) තුවාල සුව කිරීමට – දියවැඩියාව නිසා ඇතිවන තුවාල, සම බද්ධ(skin graft) කිරීමෙන් පසු, අධික ලෙස පිළිසුණු තුවාල, කල්ගත වූ සුව නොවන තුවාල.
2) ඔක්සිජන් උනතාවයන් සඳහා පාණ්ඩු රෝග ( අධික ඇනිමියා) තත්ත්වයන් සඳහා, කාබන් මොනොක්සිඩ් විසවීම, සයනයිඩ් විසවීම, අධික දුම් වලට නිරාවරණය වූ අයට, කිමිදුම් නිසා ඇතිවන රෝගාබාධ තත්ත්වයන් (Decompression sicknesses) වලට
3) ක්ෂණිකව සිදුවන ඇස් නොපෙනී යාම (Central Rental Artery Occlusion).
4) විෂබීජ අස්ථි තුළ ඇතිවන ඔස්ටියෝමයිලයිටිස් වැනි රෝග තත්ත්වයන්.
5) පිළිකා රෝගීන්ට විශේෂයෙන් රේඩියේෂන් ප්‍රතිකාර වලට පසුව
6) රුධිර වාහිනී තුළ රුධිර ගලනය ප්‍රමාණවත් නොවීම, crush Injury, Gas embolism වැනි රෝග තත්ත්ව
තවද මිග්‍රේන් හිසරදය, මොළයට සිදුවන අනතුරු, මොලේ ඇතිවන විසබීජ ගෙඩි, ආඝාත තත්ත්වයන්, සුසුම් නාවට සිදුවන හානි, Cerebral palsy, ආතරයිටිස් තත්වයන්, නිදන්ගත වේදනා රෝග, දිගු කාලයක් පවතින COVID අසනීප තත්වයන් ප්‍රතිකාර සිදුකරමින් පවතී.
අවුරුද්දේ සිට අවුරුදු විස්සක් පමණ වන කල්ගත වූ තුවාල සුව වීමේ ප්‍රමාණය 60-75% බව සිදු කරන ලද ගණනය කිරීම මගින් පෙන්වා දී ඇත.
තවද හිසකෙස් යෑම හා තට්ටය පෑදීමට , ක්‍රීඩා වලදී සිදුවන ආබාධ, ක්‍රීඩාවල තිවුරතාවය වැඩිදියුණු කර ගැනීමට, වයසට යෑම අඩු කර ලස්සන පෙනුමක් ලබා ගැනීමටද, දීප්තිමත් සමක් ලබා ගැනීමට අධි පීඩන අම්ලකර ප්‍රතිකාර යොදා ගැනීමට පුළුවන්.
අධි පීඩන අම්ලකර ප්‍රතිකාර මගින් ශරීරයට ලැබෙන ප්‍රතිලාභ
වඩා හොඳ ශරිරික ක්‍රියාකාරීත්වය
ශරීර ශක්තිය වැඩිවීම
වේදනාවන් අඩු කිරීම
හොඳ නින්දක් ලැබීම
පෙතිසක්තිකරන ඉහළ යෑම
සෛලීය ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වීම
මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වීම
මතක ශක්තිය ඉහළ යෑම
නිරෝගී දීප්තිමත් සමක් ලබා ගැනීමට හැකියි
සෑම කෙනෙකුටම මෙම ප්‍රතිකාරය ලබා ගැනීමට පුළුවන්ද?
බහුතරයක් අයට මෙම ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව තිබෙනවා. සමහර රෝගී තත්ත්ව වලින් පෙලෙන අයට මෙම ප්‍රතිකාර ක්‍රමය තුළින් ප්‍රතිකාර ලබාදීමට නොහැකියි. උදාහරණයක් විදිහට කනේ පීඩනය සමාන කරගන්න බැරි අයට , pneumothorax රෝගී තත්වය පවතින අයට, COPD, emphysema රෝගී තත්ව වල අවසාන අදියරවල රෝගීන් මෙන්ම පිළිකා රෝග සඳහා ලබා දෙන සමහර ඖෂධ ලබාගන්න රෝගීන්, කනේ ශල්‍ය ප්‍රතිකාර සිදුකර කෙටි කාලයක් ඇතුලත රෝගීන්, කනේ රෝග, උණ හා සෙම්ප්‍රතික්ෂාව, සයිනසයිටිස් තත්වය පෙන්වා දෙන්න පුළුවන්. කෙසේ නමුත් ප්‍රතිකාරවලට යොමු වීමට පෙර, ප්‍රතිකාර කාලසීමාව තුළ සහ පසුව වෛද්‍යවරයෙකූ ගේ අධීක්ෂණය යටතේ තමයි සිද්ධ කරන්නේ. ප්‍රතිකාරයට පෙර රෝගියා ගැන සම්පූර්ණ විනිශ්චයක් වෛද්‍යවරයා විසින් සිදු කරනවා. ඊට අමතරව තාක්ෂණික උපදේශකවරයෙක් රෝගින් සමඟ කුටීරිය තුළ සිටිනවා.
ඉන්දියාව තුළ සියයකට වඩා වැඩිප්‍රතිකාර මධ්‍යස්ථාන පවතී. මාලදිවයින තුළ පහක් පමණ ඇත. චීනය තුළ 5000 කට වඩා වැඩි ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රමාණයක් 2019 වසර වන විට ස්ථාපිතව තිබී ඇත. තායිලන්තය තුළ 2007 වසර වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන සියයකට වඩා වැඩි ප්‍රමාණයක් පැවතී තිබුණි ක. ඇමරිකාව තුළ ආසන්න වශයෙන් 1200-2000, එක්සත් රාජධානිය තුළ 50-60ක් දක්වාත් රුසියාව තුළ 1200ට වැඩි ලොව අධිපීඩන ආම්ලික කුටීර සඳහා ලෝකය තුළ ප්‍රමුඛතම රටක් ලෙස හඳුන්වන අතර නිවැරදි සංඛ්‍යා ලේඛන වල ගැටලු පවතී.
ශ්‍රී ලංකාව තුළ දැනටත් පවතින්නේ අධිපීඩන අම්ලකර කුටිර දෙකකි. ඉන් එකක් කිමිදුම් කටයුතුවල ප්‍රතිකාර සඳහා පමණක් යොදාගන්නා අතර පෞද්ගලික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විවෘතව ඇත්තේ එක හයිපර්බැරික් ඔක්සිජන් කුටීරියක් පමණි. මෙවැනි ප්‍රතිකාර ක්‍රම මෙඩිකල් ටුවරිස්සම් මගින් අපේ රටට විදේශ විනිමය ඉපැයීමට ද යොදාගත හැකියි. ඒ වගේම සංචාරක ව්‍යාපාරය තුළ කිමිදුම ක්ෂේත්‍රය දියුණු කිරීම හා ජාත්‍යන්තරය පිළිගත් මට්ටමට ඔසවා තැබීමට නම් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සා කුටීර පැවතීම අත්‍යවශ්‍ය කාරණයකි.
වෛද්‍ය ප්‍රසාද් හේරත්
උප සභාපති
සායනික සංචරණ වෛද්‍ය සංගමය














