ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය බංග්ලාදේශය තුළ විකාශනය කිරීම තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු ක්‍රීඩකයෙකු වන මුස්තාෆිසුර් රහ්මාන් IPL තරගාවලියෙන් ඉවත් කිරීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණයට ප්‍රතිචාර ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
BCCI ගත් මෙම තීරණය බංග්ලාදේශ ජනතාව අතර දැඩි කනස්සල්ලක් ඇති කර ඇති අතර, මුස්තාෆිසුර් රහ්මාන් IPL තරගාවලියෙන් ඉවත් කිරීමට හේතුවක් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බවද සඳහන් වේ.
මෙම සිදුවීම බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ක්‍රීඩා සබඳතා තුළ නව උණුසුම් තත්ත්වයක් උද්ගත කළ හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙති.
මේ අතර, එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත තරග සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කර ඇති බව ‘Cricinfo’ වෙබ් අඩවිය වාර්තා කරයි.
දෙරට අතර පවතින දේශපාලනික නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද සඳහන් වේ.
ඒ අනුව, එම තරගාවලියේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශ තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය යටතේ ලබන මාසයේ ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී, බංග්ලාදේශ කණ්ඩායම කොල්කටාහිදී තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.
එම අතර, ඉදිරියේදී පැවැත්වෙන IPL තරගාවලියේදී කොල්කටා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටි මුස්තාෆිසුර් රහ්මාන් හදිසියේම කණ්ඩායමෙන් නිදහස් කිරීම මෙම නොසන්සුන්තාවට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව සඳහන්ය.
බංග්ලාදේශයේ වෙසෙන සුළු ජාතීන්ට සිදුවන බවට වාර්තා වන හිරිහැරවලට විරෝධය පළ කිරීමක් ලෙස මුස්තාෆිසුර් රහ්මාන් එලෙස ඉවත් කර ඇති බවටද වාර්තා පළවෙයි.
- අද දෙරණ














