මුළු රටම කම්පාවට පත් කරමින් ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ ඒ අවාසනාවන්ත පුවත දැන් මහා ඛේදවාචකයකින් කෙළවර වී තිබේ. පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පියෙකු විසින්ම ඇවිලූ ගිනි ජාලාවට බිලි වූ පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව මේ වන විට තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය 06 වනදා අලුයම මුළු ගමම නින්දේ පසුවද්දී, 43 හැවිරිදි ගෘහමූලිකයා විසින් සිය නිවසට පෙට්‍රල් දමා ගිනි තබා ඇත්තේ ඇති වූ දැඩි කෝපය පාලනය කරගත නොහැකිවයි. එම ගිනි ජාලාවට මැදි වූ ඔහු සහ ඔහුගේ 13 හැවිරිදි සුරතල් දියණිය එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගියහ.
බරපතළ පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි 36 හැවිරිදි මව ද අද (08) උදෑසන සිය අවසන් හුස්ම හෙළුවාය. තම දියණිය සහ සැමියා අහිමි වූ වේදනාවත් සමඟ ඇය ද නික්ම ගියේ මුළු ප්‍රදේශයම ශෝක සාගරයක ගිල්වමිනි.
මෙම ගින්නෙන් බේරීමට උත්සාහ කළද තුවාල ලැබූ තවත් තිදෙනෙකු තවමත් රෝහල්ගතව සිටිති. එ නම් , මියගිය යුවළගේ 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ මියගිය කාන්තාවගේ 66 හැවිරිදි මවයි.
එක් මොහොතක ඇතිවන “තරහව” සහ “කෝපය” පාලනය කර ගැනීමට නොහැකි වීමෙන්, තමන් පණ මෙන් ආදරය කළ දරුවන් සහ පවුලම අළු වී යන අයුරු මෙම සිදුවීම අපට පසක් කර දෙයි. පවුල් ආරවුල් සාකච්ඡාවෙන් විසඳා නොගැනීමේ අමිහිරි ප්‍රතිඵලය මෙයයි.














