මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින ඖෂධ හිඟය හේතුවෙන් රෝගී දරුවන් පිරිසකගේ ජීවිත බරපතල අනතුරකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. විශේෂයෙන්ම ආහාර දිරවීමේ ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය වන ‘එන්සයිම’ ඖෂධ නොමැති වීම හේතුවෙන් දරුවන් රැසක් පීඩා විඳින බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම විපක්ෂනායකවරයා එන්සයිම ඌණතාවයේ බරපතලකම ද පැහැදිලි කලේය.
”පෙනහළු ආසාදන සහ ආහාර දිරවීමේ පද්ධතියේ දුර්වලතා සහිත දරුවන් සඳහා මෙම එන්සයිම ඖෂධ අත්‍යවශ්‍ය වනවා. ශරීරයට ලැබෙන ආහාර නිසි ලෙස ජීර්ණය වී පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීමට මෙම එන්සයිම උපකාරී වෙනවා. පෙනහළු ආසාදනයකින් පෙළෙන දරුවකුට අවශ්‍ය මෙම අත්‍යවශ්‍ය ඖෂධය ලබා ගැනීමට නොහැකිව එම පවුල දැඩි අසරණභාවයට පත්ව ඇති බව ත් වාර්තා වෙලා තියෙනවා. මේ වන විටත් මෙවැනි රෝගී තත්ත්වයන් සහිත දරුවන් 35 දෙනෙකු පමණ මෙම ඖෂධය නොමැතිව ජීවිත අවදානමකට මුහුණ දී සිටිනවා. ” විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මෙම ඖෂධ හිඟයට මූලික හේතුව වී ඇත්තේ රටේ පවතින මූල්‍ය අපහසුතාවයකට වඩා අදාළ ටෙන්ඩර් පටිපාටිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම බව විපක්ෂ නායකවරයා චෝදනා කළේය. මුදල් වැය කිරීමට සූදානම් වුවද, නිසි කළමනාකරණයක් නොමැති වීම හේතුවෙන් වෙළෙඳපොළේ හෝ රජයේ රෝහල්වල මෙම ඖෂධය ලබා ගැනීමට නොමැති වීම බරපතල වගකීම් විරහිත ක්‍රියාවක් බව ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත් විපක්ෂනායකවරයා පැවසුවේ පවතින ටෙන්ඩර් ගැටලු නිරාකරණය කර අදාළ ඖෂධය කඩිනමින් මෙරටට ගෙන්වීමට රජය වහාම පියවර ගත යුතු බවයි. ඔටිසම් (Autism) තත්ත්වයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් ගනු ලබන වත්මන් ක්‍රියාමාර්ග අගය කළ විපක්ෂ නායකවරයා, ඒවා තවදුරටත් පුළුල් කරමින් දරුවන්ගේ සෞඛ්‍ය අයිතිවාසිකම් තහවුරු කළ යුතු බව ප්‍රකාශ කළේය.














