ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ගල් අඟුරු තොගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ විශේෂ අවධානය යොමු වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ මෙම කාරක සභාව හමුවට බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් කැඳවා තිබුණි. එහිදී අවසන් වරට මෙරටට ගෙන්වන ලද ගල් අඟුරු නෞකා තුනක සාම්පල වැඩිදුර තත්ත්ව පරීක්ෂාව සඳහා ඉන්දියාවේ රසායනාගාර වෙත යොමු කර ඇති බව නිලධාරීහු අනාවරණය කළහ.
මෙම ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය සිදුවූ ආකාරය සහ එහි පවතින විනිවිදභාවය පිළිබඳව දීර්ඝ ලෙස ප්‍රශ්න කළ කාරක සභාව, අදාළ ගනුදෙනු සිදුවන සමයේ සේවය කළ ලංකා ගල් අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයාව මීළඟ රැස්වීමට කැඳවීමට තීරණය කර ඇත.
එසේම, ඉන්දියාවෙන් ලැබීමට නියමිත ප්‍රමිති වාර්තා සහ ශ්‍රී ලංකාව තුළ සිදු කළ රසායනාගාර වාර්තා ද වහාම කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා මෙහිදී නියෝග කළේය.
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය නිසා විදුලි උත්පාදන පද්ධතියට සිදුවිය හැකි හානිය සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව මෙම විමර්ශනය හරහා කරුණු සොයා බැලීමට නියමිතය.














