නෝර්වේ රාජකීය පවුල දැඩි අපහසුතාවයට පත් කරමින්, ඔටුන්න හිමි මෙට්-මාරිට් කුමරියගේ වැඩිමහල් පුත්‍රයා වන මාරියස් බෝර්ග් හොයිබිට (Marius Borg Høiby) එරෙහිව එල්ල වී ඇති ලිංගික දූෂණ ඇතුළු බරපතළ චෝදනා රැසකට අදාළ නඩු විභාගය හෙට (03) ඔස්ලෝ දිස්ත්‍රික් උසාවියේදී ආරම්භ වීමට නියමිතය. 29 හැවිරිදි හොයිබිට එරෙහිව ස්ත්‍රී දූෂණ හතරක්, සමීප සබඳතාවලදී සිදුකළ අපයෝජන, මරණ තර්ජන එල්ල කිරීම සහ කිලෝග්‍රෑම් 3.5ක මරිජුවානා ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා 38ක් ගොනු කර තිබේ. චෝදනා ඔප්පු වුවහොත් ඔහුට වසර 10ක සිරදඬුවමක් නියම විය හැකි බව රජයේ නීතිඥවරු පවසති.
හොයිබි කුමරියගේ පෙර විවාහයක පුත්‍රයෙකු වන අතර ඔහුට නිල රාජකීය පදවි නාමයන් හෝ රාජකාරි හිමි නොවේ. ඔහුට එරෙහි සියලුම ලිංගික අපයෝජන චෝදනා ඔහුගේ නීතිඥයන් ප්‍රතික්ෂේප කර ඇති අතර, තමා නිවැරදිකරු බව ඔප්පු කිරීමට හොයිබි අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔටුන්න හිමි හාකොන් කුමරු ප්‍රකාශ කළේ හොයිබි සාමාන්‍ය පුරවැසියෙකු ලෙස නීතියට යටත් විය යුතු බවත්, රාජකීය පවුල නඩු විභාගයට සහභාගී නොවන බවත්ය. මෙම පුවත නෝර්වේ වැසියන් අතර මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙන අතර එය එරට රාජකීය පවුලේ ප්‍රතිරූපයට ද බලපෑම් එල්ල කර තිබේ.













