ඉන්දියාවේ ගාසියාබාද්හි උසස් නිවාස සංකීර්ණයක 9 වන මහලෙන් පැන සහෝදරියන් තිදෙනෙකු දිවි නසාගැනීමේ පුවතක් අද (04) වාර්තා වේ. වයස අවුරුදු 12, 14 සහ 16 යන වියේ පසුවන මෙම දැරියන් තිදෙනා කොරියානු මාර්ගගත ක්‍රීඩාවකට (Online Game) දැඩි ලෙස ඇබ්බැහි වී සිට ඇති අතර, එම බලපෑම මත තමන් ඉන්දියානු ජාතිකයන් නොව ‘කොරියානු කුමාරිකාවන්’ ලෙස සිතා ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. අද අලුයම 2.00ට පමණ නිවසේ පූජා කාමරය ඇතුළතින් අගුළු දමා ගත් දැරියන් එහි ජනේලයකින් එකිනෙකා පසුපස බිමට පැන ඇති අතර ඔවුන් එම ස්ථානයේදීම මියගොස් ඇත.
පොලිස් පරීක්ෂණවලදී ඔවුන් ලියූ දිනපොතක් සහ සටහන් හමු වී ඇති අතර එහි “අම්මා, තාත්තා අපිට සමාවෙන්න” යනුවෙන් සටහන් කර තිබූ බව වාර්තා වේ. කොවිඩ් වසංගත සමයෙන් පසුව මෙම දැරියන් අදාළ ක්‍රීඩාවට සහ කොරියානු සංස්කෘතියට අතිශයින් ඇබ්බැහි වී ඇති බවත්, එමගින් ඔවුන්ගේ චර්යාවන් සහ පෞරුෂය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවත් සහකාර පොලිස් කොමසාරිස් අතුල් කුමාර් සිං මහතා ප්‍රකාශ කළේය. දරුවන් අන්තර්ජාලය සහ මාර්ගගත ක්‍රීඩා භාවිතා කිරීමේදී දෙමාපියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව මෙම අවාසනාවන්ත සිදුවීමෙන් යළිත් තහවුරු වන බව බලධාරීහු පවසති.














