ජනාධිපති අරමුදලේ සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වසරක් ඇතුළත වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම 59% කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව 2024 වසරේ ලැබුණු අයදුම්පත් 3,313 හා සසඳන විට 2025 වසරේදී අයදුම්පත් 5,277ක් ලැබී ඇති අතර ඉන් 70%කට වැඩි පිරිසකට මේ වන විටත් ප්‍රතිලාභ ලබා දී අවසන්ය. විශේෂයෙන්ම උතුරු පළාතෙන් අයදුම්පත් ලැබීම 253% කින්ද, නැගෙනහිර පළාතෙන් 135% කින්ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව වාර්තා වේ.
වසර 47ක කාලයක් කොළඹට පමණක් සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සේවාවන් 2025 පෙබරවාරි 07 වනදා සිට දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබා ගැනීමට අවස්ථාව උදා විය. වෛද්‍යාධාරවලට අමතරව අධ්‍යාපන ශිෂ්‍යත්ව, දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල සහනාධාර සහ ආපදා සහනාධාර ඇතුළු අරමුදලේ සියලුම සේවාවන් සඳහා දැන් මාර්ගගත (Online) ප්‍රවේශය හරහා ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් අයදුම් කළ හැකිය.














