විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේ තීරණාත්මක පියවරක් ලෙස, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) අහෝසි කරන නිල දිනය මෙම මස 20 වැනිදාත් 27 වැනිදාත් අතර ප්‍රකාශයට පත් කරන බව පරිවර්තන කාර්ය සාධක බලකායේ ප්‍රධානී පුබුදු නිරෝෂණ හැඩිගල්ලගේ මහතා පවසයි. ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සකසා අවසන් වූ පසු කැබිනට් අනුමැතිය ලබාගෙන මෙම දිනය ගැසට් කිරීමට නියමිත අතර, එදින සිට විදුලිබල මණ්ඩලය වෙනුවට අලුතින් ලියාපදිංචි කළ සමාගම් 06ක මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ වනු ඇත.
ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ සේවකයන් 22,000කට ආසන්න පිරිස නව සමාගම් වෙත අනුයුක්ත කර ඇති අතර, ඉන් වැඩිම පිරිසක් එනම් 14,800ක් බෙදාහැරීමේ සමාගම් වෙත යොමු කර තිබේ. මීට අමතරව ජනන සමාගම සඳහා 2,600ක් ද, සම්ප්‍රේෂණ සමාගම සඳහා 2,000ක් ද, පද්ධති ක්‍රියාකරු සමාගම සඳහා 216ක් ද වශයෙන් සේවකයන් බෙදා වෙන් කර ඇත. කාර්යාල පරිශ්‍රයන් වෙනස් නොවන අතර පැරණි ගොඩනැගිලි තුළම නව සමාගම්වල කටයුතු පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇත.
ස්වේඡාවෙන් විශ්‍රාම යෑම සඳහා (VRS) අයදුම් කළ සේවකයන් 2,153 දෙනෙකුට අදාළ වන්දි මුදල් ගෙවීමේ කටයුතු ද මෙම ක්‍රියාවලියට සමගාමීව සිදු කිරීමට නියමිතය. ප්‍රතිව්‍යුහගත කිරීමේ අදියර පහෙන් හතරක් මේ වන විටත් සාර්ථකව අවසන් කර ඇති අතර, අවසන් අදියර වන ජාතික විදුලිබල හා ගාස්තු ප්‍රතිපත්තිය සකස් කිරීම පෙබරවාරි තෙවන සතියේදී අවසන් වීමට නියමිතව තිබේ.














