අමෙරිකා එක්සත් ජනපදය තුළ රැඳී සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ඩොලර් බිලියන 38.3ක දැවැන්ත ආයෝජනයක් සිදුකිරීමට අමෙරිකානු රජය තීරණය කර තිබේ. “One Big Beautiful Bill” නමැති විශේෂ වියදම් පැකේජය හරහා මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතය. මෙමගින් එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ ආයතනයේ (ICE) මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම රජයේ මූලික අරමුණ වී ඇත.
මෙම ආයෝජනය යටතේ අමෙරිකාව පුරා විසිරී ඇති විශාල ගබඩා පහසුකම් සහිත ස්ථාන 16ක් මිලදී ගෙන ඒවා නවීන රැඳවුම් මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබේ. ඉන් එක් මධ්‍යස්ථානයක පුද්ගලයින් 1,500 බැගින් රඳවා තැබීමට හැකි වන අතර, මීට අමතරව පුද්ගලයින් 10,000 බැගින් රඳවා තැබිය හැකි දැවැන්ත මධ්‍යස්ථාන 8ක් ද අලුතින් ඉදිකිරීමට නියමිතය. මෙම මධ්‍යස්ථාන තුළ සංක්‍රමණිකයන් දින 03 සිට 60 දක්වා කාලයක් රඳවා තබා ගනිමින් ඔවුන්ගේ මව්බිම් කරා පිටුවහල් කිරීමේ නීතිමය කටයුතු අවසන් කිරීමට අපේක්ෂිතය.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 162,000ක් පිටුවහල් කිරීමට ICE ආයතනය සමත්ව ඇති අතර, මෙම නව ආයෝජනයත් සමඟ එම ක්‍රියාවලිය තවදුරටත් පුළුල් වනු ඇත. දේශසීමා ආරක්ෂාව තර කිරීම සහ නීතිවිරෝධී සංක්‍රමණය පාලනය කිරීමේ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන අමෙරිකානු රජය, මෙම නව රැඳවුම් මධ්‍යස්ථාන ජාලය හරහා පිටුවහල් කිරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රායෝගික බාධා ඉවත් කර ගැනීමට බලාපොරොත්තු වේ.














