බුදුදහමට අපහාස කළේ යැයි චෝදනා කරමින් ICCPR (එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති) පනත යටතේ ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය කනගාටුව පළ කළේය.
මෙම සිද්ධියට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී, රජයේ නීතිඥවරයා විසින් අදාළ ස්ථානාධිපතිවරයාගේ කනගාටුව පළකිරීම ඇතුළත් ලිපිය අධිකරණයට ඉදිරිපත් කරන ලදී. නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේදී ඇගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මීට පෙර මතභේද පැන නැගී තිබුණි.
මීට අමතරව, ICCPR පනත වැරදි ලෙස භාවිත කරමින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සහ එමඟින් සිදුවන අනීතික ක්‍රියා වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන් අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බව ද රජයේ නීතිඥවරයා මෙහිදී අනාවරණය කළේය. මෙම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම් විභාගය අවසන් කිරීමට නියෝග කළේය.














