දිවයින පුරා විසිරී ඇති ආර්ථික මධ්‍යස්ථාන 18ක කටයුතු වඩාත් විධිමත් ලෙස නියාමනය කිරීම සඳහා “National Agri Marketing Services” නමින් නව රාජ්‍ය සමාගමක් පිහිටුවා ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ගොවීන්ට, වෙළෙන්දන්ට සහ පාරිභෝගිකයින්ට අවශ්‍ය පහසුකම් එක් පියස්සක් යටතේ ක්‍රමවත්ව සැපයීම මෙම සමාගමේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය. මෙම නව සමාගම පිහිටුවීමට එරෙහිව දඹුල්ල සහ තඹුත්තේගම වැනි ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙන්දන් දැඩි විරෝධයක් දක්වන බවත්, බලහත්කාරයෙන් මෙවැනි දෑ කිරීමට යාමෙන් ගැටලු ඇතිවිය හැකි බවත් චාමර සම්පත් දසනායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
විරෝධතා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, දැනට පවතින ආර්ථික මධ්‍යස්ථානවල කඩ කාමර අවිධිමත් ලෙස විකිණීම, බදු දීම සහ විවිධ පාලන ක්‍රමවේද පැවතීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ආර්ථික මධ්‍යස්ථාන හතර පාලන ක්‍රම හතරක් යටතේ ක්‍රියාත්මක වන බවත්, ඒ සියල්ල පොදු රාජ්‍ය නියාමනයකට යටත් කිරීම හරහා ජනතාවට සහන සැලසිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.












