යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා විසින් යාපනය පොලිස් ස්ථානය වෙත විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ ‘සමස්ත ශ්‍රී ලංකා ජනතා නැගිටීමේ පක්ෂයේ’ නිර්මාතෘවරයාට එරෙහිව වීම විශේෂත්වයකි. සිය වෘත්තීය ගෞරවයට සහ පෞද්ගලික කීර්ති නාමයට කැළලක් වන පරිදි අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම මීට හේතුව බව වාර්තා වේ.
පසුගිය අඟහරුවාදා යාපනය ශික්ෂණ රෝහල තුළ සහ යාපනය නාගරික ප්‍රදේශය පුරා බෙදා හරින ලද දිනපතා පුවත්පත් සමඟ අදාළ පක්ෂයේ නමින් සකස් කළ පත්‍රිකා කිහිපයක් ද බෙදා හැර තිබේ. එම පත්‍රිකාවල අන්තර්ගත ඇතැම් කරුණු තමා ඉලක්ක කර ගනිමින් සිදු කළ අපහාසාත්මක ප්‍රකාශ බව වෛද්‍ය සත්‍යමූර්ති මහතා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අදාළ පත්‍රිකා මුද්‍රණය කළ ස්ථානය සහ ඒවා බෙදා හැරීමට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැස් කරමින් පවතී. උතුරු පළාතේ ප්‍රමුඛ සෞඛ්‍ය නිලධාරියෙකු මෙලෙස දේශපාලන කණ්ඩායමකට එරෙහිව නීතිමය පියවර ගැනීම යාපනය ප්‍රදේශය තුළ දැඩි කතාබහට ලක්වී තිබේ.














