ලාහෝර් නුවරදී අතුරුදන් වූ බව කියන කැනේඩියානු ජාතික ආචාර්ය උපාධි පර්යේෂක හම්සා අහමඩ් ඛාන්, පාකිස්තාන සයිබර් අපරාධ විමර්ශන ඒජන්සිය (NCCIA) විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. රජයේ ආයතනවලට සහ නිලධාරීන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි. ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන ඔහු පසුගිය 19 වැනිදා අලුයම සිට අතුරුදන්ව සිටි අතර, පොලිසිය පවුලේ අය සමඟ නිසි සහයෝගයෙන් කටයුතු නොකළ බවටත් ඔහු සිටින ස්ථානය පිළිබඳව හෙළි නොකළ බවටත් ඔහුගේ සහෝදරයා චෝදනා කරයි. මීට පෙර පොලිසිය පවසා තිබුණේ ඔහු පැහැරගැනීමකට ලක්ව ඇති බවට සැක කරන බවත් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් තමන් සතු නොවන බවත්ය.














