ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනය හෙළා දකිමින් කාශ්මීරය, ලක්නව්, භෝපාල් සහ හයිද්‍රාබාද් යන ඉන්දීය නගරවල දහස් සංඛ්‍යාත ජනතාවක් වීදි බැස විරෝධතාවල නිරත වෙති. අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් කමේනි සමඟ ඔහුගේ දියණිය, බෑණනුවන්ට සහ මිණිබිරියට ද දිවි අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාශ්මීරයේ ශ්‍රී නගර් අගනුවර මෙන්ම බුඩ්ගම් සහ බන්ඩිපෝරා යන ප්‍රදේශවල දහස් ගණන් ජනතාව කළු සහ රතු කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධතාවල නිරත වූහ. විරෝධතාකරුවන් ශ්‍රී නගර් හි ප්‍රධාන චතුරශ්‍රයේ පිහිටි ඔරලෝසු කණුව මතට නැග කමේනිගේ රුව රැගත් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සිය ශෝකය සහ විරෝධය පළ කර තිබේ.
“අද අපි අනාථ වෙලා. අපේ ආදරණීය ආගමික නායකයාව ඒකාධිපතියන් විසින් මරා දමා තිබෙනවා,” යනුවෙන් විරෝධතාකරුවෝ සිය වේදනාව ප්‍රකාශ කරති. මෙය එක් ආගමික කණ්ඩායමකට පමණක් නොව සමස්ත මුස්ලිම් ලෝකයටම සිදුවූ විශාල පාඩුවක් බව ඔවුහු පවසති.
විරෝධතා හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග වසා දමා ඇති අතර දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබේ. ජම්මු සහ කාශ්මීර ආණ්ඩුකාර මනෝජ් සිංහා ආරක්ෂක සමාලෝචන රැස්වීමක් පවත්වා සාමය ආරක්ෂා කරන ලෙස සියලුම ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටියේය.
















