1980 දශකයේ ලෝක මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වූ සහ පසුව ජනප්‍රිය ‘ඩලස්’ (Dallas) ටෙලි නාට්‍ය මාලාවේ රංගනයෙන් දායක වූ ඇනබෙල් ස්කොෆීල්ඩ් (Annabel Schofield) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇයගේ වයස අවුරුදු 62 කි. පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇය සිය අවසන් හුස්ම හෙළා ඇත්තේ මොළයේ පිළිකා රෝගය (Brain cancer) සමඟ කාලයක් පුරා කළ සටනකින් පසුව බව වාර්තා වේ.
වේල්සයේ උපත ලැබූ ඇනබෙල් ස්කොෆීල්ඩ්, 80 දශකයේ ලෝක ප්‍රකට සඟරා කවර සිය ගණනක් හැඩ කළ සුපිරි මෝස්තර නිරූපිකාවකි. Yves Saint Laurent, Rimmel සහ Revlon වැනි සුප්‍රසිද්ධ සන්නාමයන් නියෝජනය කරමින් ඇය ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් දිනා ගත්තාය. ඇයගේ රුව එකල විලාසිතා ලෝකයේ අනිවාර්ය අංගයක් වූ අතර, ඇය ලෝකයේ ඉහළම ගෙවීම් ලබන නිරූපිකාවන් අතර ද ඉදිරියෙන් සිටියාය.
මෝස්තර නිරූපණයෙන් අනතුරුව ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසි අතර, එහිදී ඇය වඩාත් ජනප්‍රිය වූයේ ‘ඩලස්’ සබන් ඔපෙරාවේ (Soap opera) ‘ලෝරල් එලිස්’ (Laurel Ellis) නම් චරිතය හරහාය. මීට අමතරව ඇය චිත්‍රපට කිහිපයකට ද සිය රංගන දායකත්වය ලබා දී ඇත. ඇයගේ අභාවය සම්බන්ධයෙන් විලාසිතා සහ කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සිය ශෝකය පළ කරමින් සිටිති.














