ඇමරිකානු-ඊශ්‍රායල සහ ඉරාන ගැටුමේ බලපෑම හමුවේ දකුණු කොරියානු කොටස් වෙළඳපොළ ඉතිහාසයේ දරුණුතම පසුබෑමකට අද (04) මුහුණ දුන්නේය. එරට ප්‍රධාන කොටස් දර්ශකය වන KOSPI දර්ශකය සියයට 12.2 කින් පහත වැටුණු අතර, මෙය 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු වාර්තා වූ දරුණුතම තනි දින කඩා වැටීම ලෙස සටහන් වේ.
කොටස් වෙළඳපොළේ අගය සියයට 8 ක සීමාව ඉක්මවා පහත වැටීම නිසා ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට (Circuit Breaker) මූල්‍ය බලධාරීන්ට සිදුවිය. සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් (Samsung Electronics), SK Hynix සහ LG වැනි දැවැන්ත සමාගම්වල කොටස් මිල ගණන් දරුණු ලෙස පහත වැටී ඇති අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන නාවික ගමනාගමනය අඩාල වීම හේතුවෙන් නැව්ගත කිරීම් සහ සැපයුම් ක්ෂේත්‍රයේ සමාගම් සියයට 17 ත් 19 ත් අතර ප්‍රමාණයකින් දැවැන්ත අලාභ ලැබීය.
ලෝකයේ තෙල් පරිභෝජනයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන මෙම කලාපයේ යුදමය තත්ත්වය නිසා ඇති වූ ආර්ථික කම්පනය ගෝලීය වෙළඳපොළවල් කෙරෙහි ද බලපෑම් එල්ල කරමින් පවතී. වසර ආරම්භයේදී ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ දකුණු කොරියානු වෙළඳපොළ මෙලෙස කඩා වැටීම මැදපෙරදිග අර්බුදයේ ආර්ථික බලපෑම කොතරම් දරුණු දැයි කියාපාන නවතම නිදසුනයි.














