විමර්ශනයට ලක්ව ඇති ජෙෆ්රි එප්ස්ටයින්ගේ (Jeffrey Epstein) ලිංගික අපරාධ ජාලය සම්බන්ධයෙන් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිට සාක්ෂි දීමට අමෙරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් (Howard Lutnick) සිය එකඟතාව පළ කර තිබේ.
අමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පසුගිය සතියේදී මෙම කමිටුව හමුවේ රහසිගතව සාක්ෂි ලබා දුන්හ. එප්ස්ටයින්ගේ අපරාධ පිළිබඳව තමන් කලින් දැනුවත්ව සිටි බවට එල්ල වන චෝදනා ඔවුන් දෙදෙනාම එහිදී ප්‍රතික්ෂේප කර ඇති අතර, එම සාක්ෂි ලබාදීමේ වීඩියෝ දර්ශන ද මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇත.
වර්තමාන අමෙරිකානු වාණිජ ලේකම්වරයා වන හොවාර්ඩ් ලුට්නික් ද මෙම විමර්ශනයට කැඳවා ඇත්තේ එප්ස්ටයින් සමඟ ඔහු පැවැත්වූවා යැයි කියන සබඳතා පිළිබඳව කරුණු විමසීමටය. ඔහු කමිටුව හමුවට පැමිණීම මෙම නඩු විභාගයේ තීරණාත්මක හැරවුමක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.
මෙම විමර්ශනයේ ප්‍රධාන අරමුණ වන්නේ එප්ස්ටයින්ගේ අපරාධ ජාලයට අනුබල දුන් හෝ ඒ පිළිබඳව දැනුවත්ව සිටි ඉහළ පෙළේ දේශපාලන සහ ව්‍යාපාරික පුද්ගලයන් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීමයි.














