මැදපෙරදිග කලාපීය යුද්ධයේ හයවන දිනය එළඹෙද්දී, ඉරාන හමුදා විසින් අසල්වැසි ඉරාකයේ කුර්දි ප්‍රදේශ ඉලක්ක කරගනිමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මෙයට සමගාමීව ඊශ්‍රායලය සහ කලාපයේ පවතින අමෙරිකානු මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් 19 වන වරටත් එල්ල කරන දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් ද ඉරානය විසින් දියත් කර ඇත.
ඉරාකයේ අර්ධ ස්වයං පාලිත කුර්දි කලාපයේ ක්‍රියාත්මක වන “ඉරාන විරෝධී බෙදුම්වාදී බලකායන්” ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කරන බව ඉරානයේ ‘ප්‍රෙස් ටීවී’ (Press TV) පුවත් සේවය තහවුරු කළේය. වාර්තා වන පරිදි, මෙම කුර්දි සන්නද්ධ කණ්ඩායම් පසුගිය දිනවල අමෙරිකාව සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, ඉරාන හමුදාවන්ට ප්‍රහාර එල්ල කරන ආකාරය පිළිබඳව එහිදී අවධානය යොමු වී තිබේ. මේ අතර, ඊශ්‍රායලයට ඉහළින් ඉරාන රොකට් ප්‍රහාර කිහිපයක් සාර්ථකව මැඩපැවැත්වීමට එරට ආරක්ෂක අංශ සමත්ව ඇති අතර, අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා ද ඉරානය තුළට ප්‍රබල බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ.














